15976 BM WEB BANNER 01
Dec 01, 2017

පකිස්තානු පුහුණු පාසැලට තලෙයිබාන් ප්‍රහාරයක්

පකිස්තානයේ පෙෂාවර් නගරයේ අධ්‍යාපන ආයතනයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසකගේ වෙඩි පහරට ලක්ව අවම වශයෙන් නව දෙනෙකුවත් මරණයට පත්ව තිබේ.

ප්‍රහාරයෙන් තවත් එකලොස් දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති.

බුර්කා ඇඟලා රික්ෂෝ රථයකින් පැමිණි තුවක්කුකරුවන් තිදෙනෙකුවත් සිකුරාදා (දෙසැ 01) උදෑසන පෙෂාවර් කෘෂිකාර්මික පුහුණු ආයතන ගොඩනැගිල්ලට ඇතුළු වී තිබේ.

ප්‍රහාරකයන් සියලු දෙනාම මරා දැමුණු බව පාකිස්තාන හමුදාව පවසයි.

තමන් විසින් ප්‍රහාරය සිදු කරන ලද බව පාකිස්තාන තාලිබාන් සංවිධානය නිවේදනය කර තිබේ.

හමුදාව උපුටා දක්වමින් පළ වී ඇති මාධ්‍ය වාර්තාවලට අනුව විද්‍යාලීය පරිශ්‍රය තුළින් පිපිරීමක හඬ ඇසී ඇත.

සිසුන් අට දෙනෙකු සහ කාර්යාල සේවකයෙකු මරණයට පත් පිරිස අතරවන බව පොලිසිය පැවසීය.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුවෙකු වන අටෙශාන් උල්හක් රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ 400 පමණ වන නේවාසික සිසුන් අතරින් 120 දෙනෙකු පමණ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි සිටි බවය.

සිසුන් වැඩි දෙනෙකු සති අන්ත දීර්ඝ නිවාඩුව සඳහා නිවෙස් බලා ගොස් සිටි බව කී ඔහු "වෙඩි ශබ්දය ඇසෙන විට අප නිදාගෙන සිටියේ. මම ක්ෂණිකව ඇඳෙන් නැගිට්ටා. 'තාලිබාන්වරු පහර දී ඇති බවට' කෑ ගසමින් සියලු දෙනාම එහෙමෙහෙ දිව ගියා" යනුවෙන් සඳහන් කළේය.

ඇෆ්ගනිස්තාන දේශ සීමාව ආසන්නයේ පිහිටා ඇති පෙෂාවර් නගරය මෑත කාලය තුළ ප්‍රචණ්ඩකාරී ප්‍රහාර ගණනාවක ඉලක්කය බවට පත්විය.

2014 වසරේදී හමුදාව විසින් පාලනය කරන ලද පාසලක් වෙත තාලිබාන් කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් දරුවන් ඇතුළු 141 දෙනෙක් මරණයට පත් වූහ.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top