nsb

Dec 05, 2016

මව්බිම රකින්න කළ අරගලේ ට ජය

මිනිසුන් මිහිකත මවකට සමාන කළත් ඇයට සිදුකරන කෙනෙහිළිකම්, තාඩන පීඩන වල අවසානයක් නැතිතරම් ය. ඇතැම් මිනිසුන් ගේ එවැනි අණුවන ක්‍රියා වලට එරෙහිව නැගී සිටි ක්‍රියාකාරීහු පිරිසක් අද දිනයේදී (05) තවත් ජයක් අත්කරගත්හ.

ඒ, ඇමෙරිකාවේ උතුරු ඩැකෝටාවේ සිට ඉලිනොයිස් දක්වා ෆෙඩරල් ප්‍රාන්ත 04 ක් හරහා දිවෙන ඉන්ධන නල මාර්ගය වෙනස් කිරීමට ඩැකෝටා ෆෙඩරල් පාලනය එකඟවීමත් සමගිනි.

මෙම තෙල් නලය තැනීමට එරෙහිව ඇමෙරිකාවේ පාරම්පරික රතු ඉන්දීය ජාතික පිරිස් හා ක්‍රියාකාරීන් විසින් මාස ගණනාවක් පුරාවට විරෝධතා පැවැත්වූ අතර, ඔවුන් මෙලෙස විරෝධය දැක්වූයේ උතුරු ඩැකෝටාවේ පිහිටි කැනන් බෝල් නම් සියුක්ස් රතු ඉන්දීය ගෝත්‍රිකයන් ගේ පාරම්පාරික වාසභූමියේ ස්ටැන්ඩිං රොක් තැන්නෙහි ය. විරෝධයට එක් වූ පිරිස කඳවුරු ලා ඇති ස්ථානය හැඳින්වූයේ “ශුද්ධවූ ගිරිකුල කඳවුර”(Sacred Stone Camp) ලෙසිනි.

මෙම තෙල් නලය ඉදිකිරීමෙන් සිය වාසභූමියේ ජල පෝෂක ප්‍රදේශ පරිසර දූෂණයට ලක්වීම හා ඔවුන් ගේ පාරම්පරික ශුද්ධ භූමිය කෙළසීම යන තර්ජනය ඇති වීම මොවුන් ගේ මෙම විරෝධයට හේතු විය.

මෙම ඓතිහාසික විරෝධතාවය ඇසුරෙන් අපූරු කෙටි චිත්‍රපටයක් ද නිර්මාණය කර ඇති අතර, ජනප්‍රි‍ය රතු ඉන්දීය කවියෙකු වන ජෝන් ටෲඩල් ගේ ‘ක්‍රේසි හෝස්’ (crazy horse) කවියේ පද මේ සඳහා යොදාගෙන තිබේ.

මෙම අපූරු කවිය කුසල් පෙරේරා මහතා විසින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ මෙසේය :

විකාර අශ්වයා, ඔබ කියන දේ ඇසේ,
“එක මහ පොළොවක්. එක මවක්.
මිනිසුන් පය ගසන පොළොව නැත විකුණන්නේ කිසිවකු”
අප ය මහ පොළොව
මව විකුණන්නේ කෙසේද?
තරු විකුණන්නේ කෙසේද?
සුළඟ විකුණන්නේ කෙසේද?
විකාර අශ්වයා, ඔබ කියන දේ ඇසේ.....
........... තමන්ගේ අවකාශය
අල්ලාගත් පිරිසකි අනවශ්‍ය
පිරිසකි වැරදි වෙනුවෙන් සිටිනා
සහෘදයාගේ උවණත
ඇත ඔහුට වාර්ගික අනන්‍යතාවක්
........ මෙකල මිනිසුන් නැත සළකන්නේ මිනිසුනට
මේ කාලයකි අසීරු
භෞතිකය සියල්ල - භෞතිකය අස්වැන්න
බන්ධනය සරසන දම්වැල, දිලෙන්නකි රන් විලස
මිනිසුනට නැත ප්‍රකෘතියක් දැන්
විකාර අශ්වයා, ඔබ කියන දේ ඇසේ.....

සබැදි පුවත්

"මිනිසුන් පය ගසන පොළොව කිසිවකු විකුණන්නේ නැත"

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top