Mar 21, 2018

රජීව් සෙබෙස්තියන්ට වරෙන්තු

මුදල් වංචාවක් සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක රජීව් සෙබස්‌තියන් උසාවියට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඉකුත් ජනවාරි 15 දා නිකුත් කළ වරෙන්තුව යළි නිකුත් කරමින් 19 දා මාරවිල දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඔහුට විදේශ ගමන් තහනම් නියෝගයක්‌ද පැනවීය.

එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වන ලෙසද වරෙන්තුව තලංගම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා මගින් ක්‍රියාත්මක කරන ලෙසටද නියෝග කෙරිණි.

සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීමට රුපියල් ලක්‌ෂ තුනක අත්තිකාරම් ලබාගෙන ප්‍රසංගය නොපවත්වා මුදල් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය මුදල් පරිහරණය යන චෝදනාවලට ඔහු ලක්ව සිටී.

පසුගිය වසරේ අගෝස්‌තු 04 වැනිදා වෙන්නප්පුව ඇවෙන්ඩ්‍රා හෝටලයේදී "සරම" නමින් පැවැත්වීමට නියමිත වූ සංගීත ප්‍රසංගයකට ප්‍රවීණ ගායකයන් වන සුනිල් පෙරේරා, ඩෙස්‌මන් සිල්වා සහ ඇනස්‌ලි මාලේවන ගෙන්වා දීමට ගිවිසගෙන මුදල් රැගෙන ප්‍රසංගය නොපැවැත්වූ බවත්, මුදල් ආපසු දීම සඳහා ලබාදුන් රුපියල් ලක්‌ෂ තුනේ චෙක්‌පත අගරු වූ බවත් සංගීත ප්‍රසංගයේ සංවිධායකවරයකු වූ නයිනමඩමේ ටර්සියන් ක්‍රිස්‌ටි රත්නප්‍රිය මහතා වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබිණි.

වෙන්නප්පුව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක එල්. බී. අබේරත්න මහතාගේ උපදෙස්‌ මත වෙන්නප්පුව පොලිසියේ නිලධාරීහු පිරිසක්‌ පැමිණිල්ල මෙහෙය වූහ. ඊට නීතිඥ ලලන්ත සරච්චන්ද්‍ර මහතාගේ උපදෙස්‌ මත නීතිඥ ඩිලානි වාසනා මහත්මිය පෙනී සිටියාය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top