Mar 22, 2018

බංගලි බයිස්කෝප් පෙලක් තරංගනියේදී

බංගලි සිනමාවේ විශිෂ්ට සිනමා නිර්මාණ රැගත් සිනමා උලෙළක් මෙම මස 23, 24, 25 තෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සම සංවිධානයෙන් මෙවර සංවිධානය වන බංග්ලාදේශ සිනමා උළෙලේ ප්‍රධාන සංවිධායක කටයුත්ත බාරව සිටින්නේ සිනමාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධනුෂ්ක ගුණතිලක මහතාටය.

ලෝකයටම පොදු වූ තාගෝර් නාමය මෙන්ම ඉන්දීය සිනමාවේ රිට්වික් ඝටක් නාමය පවා එවකට බිහිවෙන්නේ නැගෙනහිර බෙංගාලය තුළය. එමෙන්ම අද වන විට නාමධාරී සිනමාකරුවන්ගේ සංඛ්‍යාවද ඉහළ මට්ටමක තිබේ. ඒ අනුව අද දකුණු ආසියානු කලාපයේ නැගී එන සිනමා කර්මාන්තය බවට බංග්ලාදේශය පත්ව ඇත. බොහෝ විට මැද මාවතේ කලාත්මක සිනමාවේ යෙදෙන ඔවුන් හැදෑරීම් අතින්ද ලංකාවට වඩා ඉහළින් සිටී.

එම නිසා මෑත කාලයේ බංග්ලාදේශ සිනමාකරුවන් කරන ලද විශිෂ්ට චිත්‍රපට කිහිපයක් උළෙලට ඇතුළත් කර ගැනීමට ප්‍රධාන සංවිධායක ධනුෂ්ක ගුණතිලක මහතා කටයුතු කර ඇත. එම චිත්‍රපට අඩංගුව තුළ එරට සංස්කෘතිය හා යම් යම් පසුගාමිත්වයන්ට එරෙහි ඉතා නිර්මාණාත්මක චිත්‍රපට කිහිපයක්ද වේ.

ඒ අනුව මොස්ටෆා සර්වාර් ෆාරුකි සහ රුබයියාත් හුසේන් නම් තරුණ සිනමාකරුවන් දෙදෙනා කැපී පෙනේ. ෆාරුකි ගේ ‘දූබ්’ සහ ‘ටෙලිවිෂන්’ චිත්‍රපට දෙකද රුබයියාත් ගේ ‘අන්ඩර් කන්ස්ට්‍රුක්ෂන්’ චිත්‍රපට ලෝකයේ සිනමා උළෙලවල් වල විශේෂ ඇගයීමකට ලක්ව ඇත. ප්‍රකට ඉන්දීය නළු ඉර්ෆාන් ඛාන් ද ප්‍රථම වතාවට බංග්ලාදේශ චිත්‍රපටයක රඟපෑවේද ෆාරුකි ගේ ‘දූබ්’ චිත්‍රපටයේය.

චිත්‍රපට සියල්ල බෙංගාල භාෂාවෙන් නිපදවා ඇති අතර ඉංග්‍රීසි උපසිරැසි සහිතව තිරගත වේ.

එළඹෙන 23 සිකුරාදා සවස 5.30 සිට තරංගනී ශාලාවේදී ආරම්භ වන බංගලාදේශ සිනමා උළෙලේ පෙළගැස්ම මෙසේය.

මාර්තු 23 සිකුරාදා -

මොස්ටාෆා ෆාරුකි ගේ ‘දූබ්’ (සවස 5.30)

මාර්තු 24 සෙනසුරාදා -

මොශේදුල් ඉස්ලාම් ගේ ‘අනිල් බග්චිර් ඒක්දින්’ (උදෑසන 10.30)

ෆක්රුල් ඛාන් ගේ ‘භුබන් මජී’ (සවස 3.00)

අමිතාබ් රෙසා චෞදුරි ගේ ‘අයිනාබාසි’ (සවස 5.30)

මාර්තු 25 ඉරිදා -

මොස්ටාෆා ෆාරුකි ගේ ‘ටෙලිවිෂන්’ (සවස 3.00)

රුබයියාත් හුසේන් ගේ ‘අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් (සවස 6.00)

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top