Mar 27, 2018

"තුන්වෙනි යාමය” දැන් මෛත්‍රීගෙ ද ? Featured

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක මහතා විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන ලද “තුන්වෙනි යාමය” සිනමා පටය සංරක්ෂණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති අරමුදලෙන් මුදල් ලබාදී තිබේ.

මෙරට විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක් වන තුන්වෙනි යාමය සිනමාපටයේ, ධර්මසිරි බණ්ඩාරනායක සතු පටල පිටපත විනාශවී යාම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිව තිබූ අතර එය සංරක්ෂණය කර ගැනීමට ඇමරිකානු ඩොලර් 16,343ක් අවශ්‍ය බව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබිණි.

ශ්‍රී ලංකා මිරර් ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ධර්මසිරි දැමූ ෆේස්බුක් සටහන අලලා පුවතක් පලකළේය. (එය පහත දැක්වේ)

ධර්මසිරිගේ 'තුන්වැනි යාමය' රැක ගනිමු !

News11

චිත්‍රපට සංරක්ෂණයට ජනපති කාර්යාලය බාගයක් ගෙවලා

ආචාර්ය ධර්මසිරි පතිරාජ වියෝවී දින කිහිපයකට පසුව මතුවූ මේ කාරණාවත් සමඟ ධර්මසිරි සිය සටහන මගින් පවසා තිබුණේ චිත්‍රපටයක් නිෂ්පාදනයට නොව නිෂ්පාදනය කළ චිත්‍රපටය බේරා ගැනීමට අදාළ මුදල අවශ්‍ය බවත්, එය බේරා ගන්නා අයකුට එම සිනමා පටයේ අයිතිය ලබාදෙන බවයි.

මේ සම්බන්ධයෙන් අප ධර්මසිරි බණ්ඩාරනායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ "තුන්වෙනි යාමය” බේරා ගැනීමට අවශ්‍ය වූ රුපියල් ලක්ෂ 25ක පමණ මුදල ජනාධිපති කාර්යාලයෙන් ලබාදීමට කටයුතු කළ බවයි.

මේවන විට එහි සංරක්ෂණ කටයුතු ඉන්දියාවේ වෙන්නායි හි පිහිටි ප්‍රසාද් වර්ණ රසායානාගාරයේ සිදුවන බවද කී ඒ මහතා ඒ සඳහා යන මුදලින් අඩක් එම ආයතනයට ජනාධිපති කාර්යාලය ගෙවා ඇති බවද හෙළි කළේය.

චිත්‍රපටයේ පුරාවත

ධර්මසිරිගේ ‘තුන්වෙනි යාමය’ චිත්‍රපටය ප්‍රදර්ශනය වූයේ 1983 වර්ෂයේය.

මෙම චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය වූ යුගය යනු ලංකාවේ දේශපාලන කුණාටුවක් සහිත කාලයකි.

වසර 1983 දී වාර්ගික ගැටුම් වල උත්සන්න තත්ත්වයක් බිහිව තිබුණා සේම ජේ.ආර්. ජයවර්ධන විසින් අලුතින් හඳුන්වා දුන් විවෘත ආර්ථිකය හරහා සමාජය වේගයෙන් කැලතෙමින් පැවැතියේය.

80 වැඩ වර්ජනය අසම්මත ආකාරයට පරාජය වූ අතර එමඟින් වෘත්තිය සමිති මත පදනම් වූ විප්ලවවාදී- පාර්ලිමේන්තුවාදී දේශපාලනය ද අවසන්ව තිබිණි.

එහි තාර්කික අනික් අන්තයේ වූයේ සන්නද්ධ දේශපාලනයයි. 87- 89 අරගලය මගින් සංකේතවත් වූයේ අධර්මිෂ්ඨ රාජ්‍ය පෙරළා දමා ධර්මිෂ්ඨ සමාජයක් පිහිටුවීම පිළිබඳ මනෝරාජිකයකි.

විශාල මිනිස් ඝාතන සමූහයකට පසු සන්නද්ධ විප්ලවය පරාජයට පත් වූ අතර විවෘත ආර්ථිකය සහ නිදහස් වෙළඳපල අදහස් ලංකාවට හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයද අපවාදයට ලක් විය.

පසුගිය වසර 35 ක කාලය තුළ බොහෝ දෙනෙක් වේදිකාවට අවතීර්ණ වූ අතර කිසියම් අප නොදන්නා හේතුවක් නිසා ඒ අය වේදිකාවෙන් බැස ගියේය.

“තුන්වෙනි යාමය” චිත්‍රපටය තුළ ප්‍රධාන භූමිකාවක් සිදුකල ඉන්දිරා ජෝන්ක්ලස් 1983 වර්ෂයේදී ඩුබායි දේශය කරා ගමන් කිරීමෙන් පසුව ඇය නැවත සිංහල සිනමාවේ ඇස නොගැසීමද විශේෂත්වයකි.

indira

“තුන්වෙනි යාමය” චිත්‍රපටය තුළ ප්‍රධාන භූමිකාවක් සිදුකල ඉන්දිරා ජෝන්ක්ලස්

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top