Apr 25, 2018

ටැක්සි එළවන සංගීත තරුව (වීඩියෝ)

ඔහු වොෂිංටනයේ කුලී රථ රියදුරෙකි. එහෙත් ඔහු සාමාන්‍ය කුලී රථ රියදුරෙකු නොවේ.

හයිලු මර්ජියා යනු මීට දශක කිහිපයකට පෙර ඉතියෝපියාවේ සිටි දැවැන්ත සංගීත තරුවකි. හැටවැනි හා හැත්තෑවැනි දශක වලදී ඉතියෝපියාවේ අතිශය ජනප්‍රිය වූ වාලියාස් නම් සංගීත කණ්ඩායමේ නායකයා ඔහුය.

අසූවැනි දශකයේ දී මෙම කණ්ඩායම ඇමෙරිකාවේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී හයිලු ඇමෙරිකාවේ නතරවීමට තීරණය කළේය.

එතැන් පටන් ඔහු කුලී රථ රියදුරෙකු ලෙස කටයුතු කරයි. කෙසේවුවත්, ඔහු කිසිදිනක සංගීතය අත්නොහැරියේය.

සිය කීබෝඩය කුලී රථයේ පසුපස තබා ඇති හයිලු, රැකියාව අතරතුරේදී විවේකයක් ලද සෑම අවස්ථාවකදී පුහුණුවීම් වල නිරත වෙයි. “මගේ විශ්වාසයට අනුව සංගීතය යනු ජීවිතකාලය පුරාවට සිදුකරන කැපකිරීමක්. පුහුණුවීම් කරන්න ඕන. පුහුණුවීම් සිදුකළේ නැතොත් ඒ හැකියාව ඇඟෙන් නැතිවෙලා යනවා.”

තමා කුඩාකල ඉතියෝපියාවේදී ගොපල්ලෙකු ලෙස කටයුතු කළ බවත්, එහිදී සතුන් දක්කාගෙන යන අතරතුර අනෙකුත් ළමුන් සමග ජනගී ගයන බවත්, තමා සංගීතයට මුලින් යොමුවූයේ ඒ අයුරින් බවත් හයිලු වැඩිදුරටත් පවසයි.

කුලී රථ පැදවුවත්, හයිලු ගේ සංගීත දිවිය ද තවමත් හමාර වී නොමැත. මේ වන විට 71 වියේ පසුවන ඔහු, දශක දෙකකින් පසුව සිය ප්‍රථම ගීත ඇල්බමය නිකුත් කර ඇති අතර, ඔහුගේ ප්‍රසංග ජාත්‍යන්තර මට්ටමින් තවමත් පැවැත්වේ.

(වීඩියෝ : බීබීසී ලෝක සේවය)

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top