May 28, 2018

“මකරන්ද” නැවුම් සංගීත රාත්‍රිය නෙළුම් පොකුණේදී

පංච පුද්ගල සුවඳ විසිරෙන නැවුම් සංගීතමය අත්දැකීමක් ගැනයි මේ.

එදා වෑත්තෑවේ සම්ඳු "මලෙක සුවඳ සිව්සිය ගව් ඇසේයා" කීවේ ගුත්තිල කවියෙනි. අද මකරන්ද සමග ගී මල් සුවඳ සිව්සිය ගව් විසිරෙන්නේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගායක ගායිකා, පංච නාද ධ්වනි මුසුවක ඵලයක් ලෙසින්ය. ඔවුන් සියල්ලෝ තමන්ගේ ක්ෂේත්‍රයෙහි ප්‍රාමාණිකයෝය. නිර්මාණකරණයෙහි බහුල අත්දැකීම් සතු , කුසලතා පිරි, රසික හදට ළංවූවන්ය.

වේදිකා නාට්‍ය, චිත්‍රපටය, රූපවාහිනී නාට්‍ය, සංගීතය හා ගායනය, රූපණය, නර්තනය ඔවුන් නියෝජනය කරනු ලබන කලා හා සෞන්දර්ය ප්‍රාසංගික ක්ෂේත්‍ර වේ. මකරන්ද ගී සුවඳ පතුරුවනු ලබන මේ පංචපුද්ගල මියැසිය සරල, සරල ශාස්ත්‍රීය, ජන හා නාට්‍ය ආදී වූ ගීත ශෛලීන්ට අයත් ගී ගයනු ඇත. මෙකී ශෛලීන්ගෙන් ගැයෙන ගීතාවලියකින් සමලංකෘත වන මකරන්ද ගී අතර, පැරණි නූර්ති, නාඩගම්, මානව වංශසංගීත ක්ෂේත්‍රගත ගීත සහ පෙර දා රසිකයන් අතර මෙන්ම නවීන රසික පරපුර අතර ද බෙහෙවින් ජනප්‍රිය වූ ගීත සමුච්චයකින් පිරුණකි.
 
මෙරට ප්‍රවීන ගායක ගායිකා සුසංයෝගයෙන් සංවිධානය කෙරෙන “මකරන්ද” පංච පුද්ගල ගී ප්‍රසංගය ජුනි 9 වැනිදා පස්වරු 7 ට කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
 
නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුල, ඉන්දිකා උපමාලි, නිලක්ෂි හැලපිට, සමන් ලෙනින් හා ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේ දී සරල, ශාස්ත්‍රීය, ජන හා නාට්‍ය, ගීත ශෛලීන්ට අයත් ගීත ඉදිරිපත් කිරීමට නියමිත ය.
 
පැරණි නූර්ති, නාඩගම්, මානව වංශ, ක්‍ෂේත්‍රගත ගීත සහ අතීත හා වර්තමාන රසික පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය වූ ගීත එකතුවක් ලෙස මෙම ප්‍රසංගය හැඳින්විය හැකි බව එහි සංවිධායකයෝ පවසති.
 
සමන් අතාවුද හෙට්ටි, නිමල් ඒකනායක, බුද්ධදාස ගලප්පත්ති හා අනුර බණ්ඩාර රාජගුරු යන අය විසින් ප්‍රසංගය සංවිධානය කරති.
Makaranda 1
 
Makaranda 2

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top