Aug 06, 2018

කපිතාන් පිකාඩ් යළිත් ස්ටාර් ට්‍රෙක් වලට එයි!

වසර ගණනාවකට පසුව යළිත් කපිතාන් ජෝන්-ලූක් පිකාඩ් ලෙස ස්ටාර් ට්‍රෙක් නිෂ්පාදනයකට එක්වන බව බ්‍රිතාන්‍ය ජාතික නළු ශ්‍රීමත් පැට්‍රික් ස්ටුවර්ට් පවසයි.

වාර්ෂිකව පැවැත්වෙන ස්ටාර් ට්‍රෙක් සමුළුව පසුගිය සෙනසුරාදා ලාස් වේගාස් හි දී පැවති අවස්ථාවේදී ස්ටුවර්ට් මහතා මේ බව නිවේදනය කර සිටියේය.

මේ වන විට 78 වියේ පසුවන ස්ටුවර්ට් මහතා, 1987 - 1994 දක්වා විකාශය වූ ස්ටාර් ට්‍රෙක් රූපවාහිනී නාට්‍ය එකතුවේ කොටස් 178කදී හා ස්ටාර් ට්‍රෙක් විශේෂාංශ චිත්‍රපට හතරකදී කපිතාන් පිකාඩ් ගේ චරිතයට පණපොවා තිබේ.

ස්ටාර් ට්‍රෙක් නිෂ්පාදන වලට එක්වීම පිළිබඳව සදාකාලිකව ආඩම්බර වන තමා, නව නිෂ්පාදනය හා එක්වීමට හැකිවීම පිළිබඳව සතුටු බව බව ස්ටුවර්ට් මහතා පවසයි.

මෙම නව ස්ටාර් ට්‍රෙක් නිෂ්පාදනයේ නම හා එළිදැක්වෙන දිනය සම්බන්ධයෙන් තවමත් විස්තර හෙළිදරව් කර නැති අතර, මෙහි විධායක නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරන ඇලෙක්ස් කර්ට්ස්මන් පවසා සිටින්නේ ස්ටුවර්ට් මහතාව යළිත් ස්ටාර් ට්‍රෙක් පවුලට පිළිගැනීමට හැකිවීම ගෞරවයක් බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top