Sathosa

Aug 30, 2018

මේ විහිළුව ඉතා භයානක එකකි - තුමිදු Featured

කලාකාමී.. අන්තගාමී .. ප්‍රේමී .. වෛරී කොයි කවුරුත් තාමත් කූඹි කනවා..

එදා ජෙහාන්ට ප්‍රශස්ති ගී කියූ බොහොමයක් දෙනා අද තර්ජනය කරලා පණිවුඩ එවනවා. බනිනවා.. සමාජ මාධ්‍ය ඔස්සේ මියුරු වදනින් අමතනවා. කිසිදෙයක් නිසා නෙවෙයි. කලා කෘති වාරණයට එරෙහිව කට ඇරපු නිසා . නිදහස් අදහස් දැක්වීමක් නිසා. අන්තගාමී බහුතරයක් දෙනා තුමිඳුගෙන් බලාපොරෙත්තු වුණේ වෙන දෙයක්. සන්නස්ගල, මනුවර්ණ සමඟ එකට හිඳ ගැනීමෙන් පවා බොහෝ දෙනෙකුට රිදුනා. තුමිදු ඔබ ඉන්නේ කොතනද?

බුදුදහමට අපහාස කරන්නේ යැයි සිතට දැනෙන නමුත් තාර්කිකව ගත් කල එසේ අපහාසයක් සිදු නොවන කලා කෘති කිහිපයක් රජයේ මැදිහත්වීමෙන් වාරණයට ලක්වුණා. තුමිදු ඒ වාරණයට එරෙහි

ව පෙනී සිටියා. වෙනස් විය යුතු තැන් ඇතත් නැතත් අශීලාචාර හැසිරීම් සහ වාග් කෝෂයට නම් ස්වයං වාරණයක් අවශ්‍යමයි. නොමැති නම් බෞද්ධකම් ගැන නොකියා සිටීම ඉතා වටී.

උපහාස අපහාස ගල් මුල් මැද තුමිදු සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබනවා..

ජාති ද්‍රෝහියෙකු, බුද්ධාගම විනාශ කරන නරුමයෙකු ලෙස මා අමතන මිතුරනි,
ඔබ මගේ රංගනය රස විදි නිසාත්, රංගන ශිල්පියෙකු ලෙස බෙහෙවින් ආදරය කල අතර ඔබට අනුව,ඔබ කැමති පරිදි , මම ජීවිතය ගත නොකළ නිසා දැන් ඔබ මට බැන වදී.
මට එය තේරුම් ගත හැක.

ආණ්ඩුව විසින් මේ කරමින් සිටින ''කලාව වාරණයට'' විරුද්ධ වීම වරදක් ලෙස ඔබ දකියි. මට එහි වරදක් නැත. මම දැන් ද එය කියමි. ඉදිරියේද ඒ වෙනුවෙන් පෙනී සිටිමි. මම පෙනී සිටියේ ඔබේ ගෞරවණිය අයිතිය වෙනුවෙනි.එලෙසම මට මේ වාරණය විහිළුවක් බව එතැනදි මම කී බව ඔබට මතක ඇත. මේ විහිළුව ඉතා භයානක එකකි. අපි ඒ දෙස හොදින් බලමු.

මාලකගේ ''නිහොන් සැප ලැබේවා'', ''තරැවන් සරනයි'' යන ගුවන් විදුලි නාට්‍ය වලට අනුග්‍රහය දක්වන්නේද මේ ආන්ඩු විසින්මයි. සායක්කාරගේ ''මම කෙලින් මිනිහෙක් '' සඳහා අවසරය දෙන්නේද මේ ආණ්ඩුවමයි .ඒ ආණ්ඩුව විසින්ම එය තහනම් කිරීම විහිළුවකි.එය ඔබට නොපෙනේද? ශ්‍රී ගේ පොත වාරනය කරන්නේද මේ ආන්ඩුවම විසිනි. දැන් මේ ආන්ඩුව එක අතකින් ,ඔවුන්ට අනුව ''බෞද්ධ ආගම් විරෝධී'' යැයි පවසන නිර්මාණ වලට අවසරය දෙමින් ,නැවත ඒවා තහනම් කරමින් ,ඔබේ අවධානය දිනාගන්නා බාල විහිළු සහගත උපක්‍රම කරමින් සිටියි. මට විහිළුවක් ලෙස පෙනෙන්නේ මෙයයි. සියලු ආණ්ඩු වල ස්භාවයද මෙයයි. ඔවුන්ට ඔබේ මගේ සිතුවිලි නිම් වළලු පුළුල් කරන ,අපේ සංස්කෘතික අවකාශය පුළුල් කරන කලාවකින් වැඩක් නැත. ඔවුන් ආගමේද ජාතියේද නාමයෙන් ඔබේ දෑස් වසන අතර,අප මේ සිටින නරාවලේම තබා ගන්නට උත්සහ කරයි.ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු වන්නේ එවිටය. අපි තවදුරටත් ඔවුන්ගේ ලාබ උපක්‍රම වලට හසු විය යුතුද?

බුදුන් ගේ ''කාලාම සූත්‍රයේ'' දේශනා කල පරිදි ඕනෑම දෙයක් මතුපිටින් අල්ලා නොගෙන එහි අන්තර්ගතය විමසා බලන්න. ''බුදුන් ගේ රස්තියාදුව'' පොත ගැන මටද විවේචන ඇත. එහෙත් මම එම කෘතිය වාරණය කල යුතු යැයි නොකියමි. රට ,ජාතිය ආගම ගැන ඔය තරම්ම හැගීමක් ඔවුන්ට ඇත්නම් , වෛරය පලිගැනීම හා ඉන්දියානු හැබිචෝල් සංස්කෘතිය වපුරණ ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය වාරණය කරන්නට මේ ආන්ඩු උනන්දු නොවන්නේ ඇයි ? ඒවා එසේම පවත්වා ගනිමින් ,අපේ රටේ සංස්කෘතික අවකාශය තුල ඔවුන් මේ කරන්න හදන්නේ කුමක්ද?ඔවුන් අපේ නිර්මාණකරුවන්ගේ පොතක්, වේදිකා නාට්‍යක් හා ගුවන්විදුලි නාට්‍යක් අල්ලාගෙන කරන්න හදන්නේ කුමක්ද?මේ එන්නේ ඔබ සිතන පරිදි අපේ රට ජාතිය ආගම බේරා ගන්නද? වඩා බලවත් ලෙස රසිකයාට බලපෑම් කල හැකි රුපවාහිනි මාධ්‍ය ,තම පටු අරමුණු වෙනුවෙන් එලෙස අවභාවිතා කරමින් මේ ඔවුන් කරමින් සිටින්නේ කුමක්ද? මිතුරනි ,ඔවුන් ආගමේත් ජාතියේත් නාමයෙන් අපව.අපේ සමාජ ජීවිතය තව තවත් ආගාධයකට තල්ලු කරමින් සිටියි.

මම මාධ්‍ය සාකච්ඡාවේදී කියූ දෙය හොදින් අහන්න. ''අපි බලන්නට ඕනෑ දෙයත්. එපා දෙයත්' පෙන්වා දෙන්නට ආන්ඩු අවශ්‍ය නැත. එය කරන්නට තරම් බුද්ධියක් පාඨක, රසික ඔබට ඇත. එය වාරණය කර ගැනීම හෝ නොගැනීම ඔබේ කාරණයකි . දියුණු රටවල ''කලාව'' වාරණය කරන්නේ නැත.ඒ වෙනුවට ඇත්තේ ''වර්ගීකරණයයි''.එවිට ඔබට රිසි පරිදි ඔබ කැමති දෙය තෝරාගත හැක .ආන්ඩු කලා වාරණය මැදිහත් වීම ඉතා භයානකය. එය කෙලවර වන්නේ සියළු දෙයම ඔවුන්ට ඕනෑ ලෙස කරන්නට අපට නියෝග කරමිනි. අවසානයේ ඔබ නැරඹිය යුත්තේ,කියවිය යුත්තේ ,රසවිඳිය යුත්තේ ආන්ඩුව කැමති දෙය පමණි.අප යා යුත්තේ එතනටද? . මම දැනුත් කියන්නේ රසිකයාගාරය බුද්ධිමත්. අපි අපේ අවකාශය තුළ තර්ක කරමු, වාද කරමු.ඒ රසිකයාට වාරණයේ අයිතියත්,නිදහසත් දෙන්න. මම පෙනී සිටියේ ඔබේ අයිතිය වෙනුවෙනි.

මැදිහත් වෙන්න ඕනෑම නං, බුද්ධාගම සම්බන්ධයෙන් මේ රටේ කොපමණ නම් ගැටලු තියෙනවද? නගරෙන් පිට විහාරස්ථාන වලට අවශ්‍ය යටිතල පහසුකම් වත් හරියට තියෙනවද? පුරාවිද්‍යා නටබුන් ආරක්ෂා වෙනවද? තව කොච්චරනං ගැටලු බුද්ධ ශාසන අමාත්‍යාංශයට තියෙනවද විසදන්න. ඒත් ඔවුන් කරමින් සිටින්නේ..ඔබව හැගීමෙන් අන්ධ කොට අවුස්සා ගත හැකි මෙවැනි දේය . එය මට පෙනෙන පරිදිනම් දරුණු ප්‍රතිපල ලැබෙන නරුම විහිළුවකි.

මම මෙයද කියමි. මට කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධයක් නැත. සම්බන්ධයක් අවශ්‍ය ද නැත. මම කලාකරුවෙකු ලෙස පමණක් මගේ දේශපාලන ආස්ථානයක සිටිමි. මම නළුවෙකු ලෙස රුපණයේ ආශ්වාදය ලබමි. ඒ ආශ්වාදය ජීවිතාවබෝධයක් ලෙස තවත් තරුණ පිරිසක් හා බෙදා ගනිමි. මගේ දේශපාලනය එතැනින් ඔබ්බට අවශ්‍ය නැත.

මට කෙටි පණිවුඩ එවා තර්ජනය කළ මිතුරනි, ෆේස් බුක් එකේ බැන වැදුණු සොයුරනි, ඉන්බොක්ස් ඇවිත් මගේ අම්මා මතක් කොට කුනුහරුප කියූ බෞද්ධ සහෝදරයනි, බුද්ධාගම්කාරයන් ලෙස ඔබේ වෛරය ඇතිතරම් පිට කරන්න. එය දරා ගැනීමට ශක්තිය මට ලැබුනේ දහම් පාසැලෙනි. මට ජාති දෝහියෙකු ලෙස බැනවදින්න, සිංහල ජාතිය වනසන මගේ කනට ගසන බව කියා මැසේජ් එවන්න. ඒවා අසද්දීත් දකිද්දීත් ඔබ සැම මිතුරන් සේ දැකීමට ශක්තියක් මට ඇත. ඒ ශක්තිය මට ලැබුනේ පන්නිපිටියේ ධර්මපාල⁣⁣යෙනි. මා මෝඩයෙකු බව කියන්න. මැදපෙරදිග සිටින මිතුරන් වීඩියෝ මැසේජ් එවමින් පෙන්වන, ඒ රටවල සිටියානම් මට ගල්ගසා මරා දමන බවට තර්ජනය කරන්න.මා උගත්,මා විස්වාස කරන බෞද්ධ දර්ශනයේ නාමයෙන් මම ඉවසමි. ඒ ඉවසීම මට ලැබුනේ පෙර කළ පිරිවෙනක්ව තිබී පසුව විශ්වවිද්‍යාලයක් බවට පත් වූ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් මා උගත් හෙයිනි. ඉතින් ඕනෑතරම් බනින්න. මට බනින මිතුරන් ඊට සති කිහිපයකට පෙර මා පසසා එවු සටහන් කියවා මම ඔවුන්ගේ ඇත්ත හැගීම තේරැම් ගනිමි. ඔබ සැමට ආදරයෙන් මේ සටහන නතර කරමි.

පෙරදා රාත්‍රියේ,කලනි මට සහොදරයා නාට්‍යයේ තිබූ වචන ටිකක් ඇගේ වචන වලින් කීවාය.
අපි මේ රට දාල යමු...යමු,
එකවරම නාට්‍ය මතක් වී අප දෙදෙනාම සිනාසුනෙමු. මම ඇයට සහෝදරයා නාට්‍යයේ වූ ප්‍රතිචාර දෙබස නොකියා සිටියත් එය මගේ මතකයෙහි දෝංකාර දෙන්නට විය.
"දැං මේ තියෙන්නෙ මගේ රට නෙමෙයි.
මේ ඔයා දකින්නෙ අපේ රටේ මිනිස්සුංගෙ ස්භාවය නෙමෙයි
දේශපාලන අඳුර.....

ශිරන්තනි

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top