Sep 20, 2018

පුංචි තිරේ කෝපි කඩේ තාම දුවන්නෙ "කුරුන්” කඩඑළිපත්තේ ඉඳන් සරණ පතන්නේ !

දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය සේ සැලැකෙන ස්වාධීන රූපවාහිනියේ තවමත් විකාශය වන කෝපි කඩේ ටෙලිනාට්‍ය මාලාවේ කුරුන් ගුරුන්ගේ චරිතය නිරූපනය කළ කේ.ඒ. පියකරු මහතා හදිසි රෝගාතුර තත්වයක් හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබාගැනීමට ඇති මූල්‍ය අපහසුතා නිසා ජනතා ආධාරපතමින් ගමින් ගමට යමින් සිටී.

ඔහු මේවන විට මිහින්තලේ ප්‍රදේශයේ ආධාර රැස්කරමින් සිටින බව වාර්තා වේ.

ප්‍රියකරු මහතා හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු වසර 32ක කාලයක් ස්වාධීන රූපවාහිනියේ තවමත් විකාශය වන කෝපි කඩේ ටෙලිනාට්‍යට රංගනයෙන් දායක වූවෙකි.

හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් මීට වසරකට පමණ පෙර සිට ඔහු සිය රංගන කටයුතුවලින් ඈත්වූ බව ඔහුගේ බිරිය ප්‍රේමා අල්විස් මහත්මිය ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසුවාය.

මේවන විට ඔහුගේ ප්‍රතිකාර කටයුතු සඳහා විශාල මුදලක් වැයවීමත්, ඔහුගේ රංගනයෙන් ලද සොච්චම හැරෙන්නට වෙනත් ආදායම් මාර්ග නොවීමත් නිසා මෙසේ ගමක් ගමක් ගානේ ගොස් ආධාර එක්රැස් කර පියකරු බේරා ගැනීමේ මෙහෙයුම සිදු කරන බවද සිය බිරිය අප සමඟ පැවසුවාය.

පියකරු මහතා මේවන විට කථන අපහසුතාවයකින් ද පෙළෙමින් සිටී.

හැත්තෑ අටවැනි වියේ පසුවන මේ ප්‍රවීන රංගන වේදියාගේ ආයුබොහෝවන්නට ඔබටත් ආධාරයක් කළ හැකි නම් ඔහුගේ මේ ගිණුම් අංකයෙන් ඊට දායක විය හැකිය.

නම - කේ.ඒ. පියකරු
ගිණුම ඇති බැංකුව - මහජන බැංකුව, බත්තර මුල්ල ශාඛාව
ගිණුම් අංකය - 20 820 018 005 874

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top