Sathosa

Oct 01, 2018

සාමයේ හඬ නඟන 'වොයිසස් ඔෆ් පීස්' එළිදකී (ඡායා)

වසර 30 ක් පුරා ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය අවසන් වුවද තවමත් නොකියැවුණු හා නොලියැවුණු දේවල් බොහෝ ය.

මේ සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇතිකිරීමේ ප්‍රවේශයක් වශයෙන්, ශ්‍රී ලාංකික පර්යේෂිකාවක සහ කර්තෘවරියක වන සේරා කබීර් 'වොයිසස් ඔෆ් පීස්' (Voices Of Peace) නමින් කෘතියක් එළිදැක්වීමට කටයුතු කර තිබේ. මෙම කෘතිය දොරට වැඞීමේ උත්සවය පසුගිය සැප්තැම්බර් 26 වනදා කොළඹ ලක්ෂමන් කදිරගාමර් ආයතනයේදී පැවති අතර එම අවස්ථාවට විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධ්‍ය නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ

මෙම මාතෘකාව සම්බන්ධයෙන් මීට පෙර කොතෙක් සංවාද ඇතිවී, කොතෙකුත් පොත්පත් පළවී තිබුණද, සුවිශේෂී කථා කීමේ ශෛලියක් භාවිතා කරන Voices Of Peace කෘතිය ඊට වෙනස් මගක යමින්, යුද්ධයේ දෙපාර්ශ්වය ගැනම මානුෂික දෘෂ්ටිකෝණයකින් බලමින්, එම දෙපාර්ශ්වය වෙන්කරන සීමාමායිම් අතික්‍රමණය කිරීමට උත්සහ කරයි. යුද්ධයට සක්‍රීයව සම්බන්ධ වූ 60 කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් සමග දීර්ඝ වශයෙන් සංවාදයේ යෙදීමෙන් අනතුරුව කතුවරිය ඒ අතරින් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දස දෙනෙකුගේ සහ හිටපු යුධ හමුදා සාමාජිකයක් දස දෙනෙකුගේ කථා මෙම කෘතිය සඳහා භාවිතා කර තිබේ. ඡායාරූප ශිල්පිනී මුනිරා මුතාහර් විසින් ගන්නා ලද සුවිශේෂී ඡායාරූප එකතුවක්ද මීට ඇතුළත් වී ඇත.

කෘතිය හඳුන්වා දෙමින් සේරා කබීර් මහත්මිය පැවසුවේ ‘මෙම කෘතිය හුදෙක් එහි ඇතුළත් කථා පිළිබඳව සංවාද කිරීමට නොව, ඇහුම්කන් දීමට පොළඹවන කෘතියක්’ බවයි. හුදෙක් කියවීමෙන් ඔබ්බට ගොස්, සැබෑ සාමයක් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය වන පසුබිමක් නිර්මාණය කිරීම තම ඉලක්කය බව පැවසූ ඇය,‘මෙම කථා හෙළිකළ පුද්ගලයන්ගේ ඇතුළාන්තය වටහාගෙන, එම කථා මගින් ලබාදෙන පණිවිඩ ග්‍රහණය කරගෙන, ඒ අනුව කටයුතු කරන මෙන්’ පාඨකයන්ගෙන් ඉල්ලා සිටියා ය.

මෙහිදී කතුවරිය කියා සිටියේ, තම ප්‍රධාන අරමුණ වන්නේ, සාමය ගොඩනැංවීමේ කාර්යභාරය සැබවින්ම යුද්ධයට මුහුණ දුන් පිරිස වෙතට පැවරීම බවයි. එමෙන්ම මෙම කෘතියට පාදක වූ පුද්ගලයන්ට තම කථාවන් ලොවට හෙළිකිරීමට වේදිකාවක් සැකසීම මෙම කෘතිය මගින් සිදුවී ඇති තවත් මෙහෙවරකි. අපක්ෂපාතී ලෙස රචනා කර ඇති මෙම කෘතිය, දේශපාලන නැඹුරුවකින් තොරව, දයානුකම්පාව පෙරදැරිව දෙපාර්ශ්වය දෙසම බැලීමට පාඨකයා යොමුකරවයි.
කෘතිය දොරට වැඞීමේ උත්සවය මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකා ජාතික සාම කවුන්සිලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා විසිනි. වෛද්‍ය වින්‍යා ආරියරත්න, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු. ආරණ්‍යා රාජසිංහම් සහ සාලිය පෙරේරා මෙහිදී ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සමය තුළ සාමය හා ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් සිය අදහස් පළකළහ.

“බෙදුණු සමාජයක් තුළදී මිනිසුන්ගේ හදවත් වලට කතා කිරීම අවශ්‍යයි. යුද්ධයේ බිහිසුණු බවට සැබැවින්ම මුහුණ දුන් මිනිසුන්ගේ කථා ඔස්සේ එලෙස මිනිසුන්ගේ හදවත් වලට ආමන්ත්‍රණය කිරීමට කතුවරිය සමත් වී තිබෙනවා. එවැනි පුද්ගලයන්ගේ කථා වලින් ගම්‍ය වන සත්‍යය කිසිවෙකුටත් මගහැර යාමට හැකියාවක් ඇත්තේ නැහැ. දකුණු අප්‍රිකාවේ සත්‍ය කොමිසම (Truth Commission) වැනි කොමිසමක් ශ්‍රී ලංකාවේත් පිහිටුවීමේ වැදගත්කම මෙම කෘතිය මගින් මනාව පෙන්වා දී තිබෙනවා.” ආචාර්ය ජෙහාන් පෙරේරා පැවසී ය.

“මේ පොතට එක්රැස් වී ඇති තොරතුරු සමුදාය දෙස බලන විට, සැමටම පොදු දෙයක් ලෙස සිමතු වී පෙනෙන්නේ මේ දුෂ්කර අත්දැකීම් වලට මුහුණදුන් මිනිසුන්ගේ අත්දැකීම් වල සමානත්වයයි. මේ ඔස්සේ අප එක්සත් වී අනාගතය වෙත පියනගිය හැකි ක්‍රමවේදයන් හඳුනාගත යුතු වෙනවා.” ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා පැවසී ය.

“මෙය ශ්‍රී ලංකාවට සැබවින්ම සංහිඳියාව අවැසි කාලයක්. Voices Of Peace යනු හුදෙක් ඒ කතිකාව පෝෂණය කරන කෘතියක් පමණක් නොව, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පර්යේෂණ සිදුකරමින්, සාමාන්‍ය ජනතාවද මෙම ක්‍රියාවලියට පුළුල් ලෙස දායක කරගැනීමේ වැදගත්කම පෙන්වා දෙන කෘතියක් ලෙස මා දකිනවා.” සර්වෝදය ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා එසේ සිය අදහස් දැක්වී ය.

පර්යේෂිකාවක සහ මානව හිතවාදී ක්‍රියාකාරිනියක වෙන සේරා කබීර් මහත්මිය, බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයෙන් සමාජ ප්‍රතිපත්ති සම්බන්ධ ප්‍රථම උපාධියක් සහ London School of Economics වෙතින් ජාත්‍යන්තර සංවර්ධනය සහ මානව අර්බුද සම්බන්ධ පශ්චාත් උපාධියක් ලබා තිබේ. පශ්චාත් උපාධියෙන් පසුව ඇයගේ ප්‍රධාන අවධානය යොමු වූයේ සාමය හා සංවර්ධන ක්‍රියාකාරකම් කෙරෙහි ය.

සමාජ සුභසාධනය හා සංවර්ධනය, විදේශගත ජන සමාජ හා ප්‍රේෂණ, සහ කෘමි නාශක හා ගෝලීය සෞඛ්‍ය ගැටලූ යනාදිය සම්බන්ධ පර්යේෂණ වල දායක වී ඇති සේරා කබීර් මහත්මිය සසෙක්ස් සහ ඩරම් විශ්ව විද්‍යාල වල පර්යේෂණ වලටද දායක වී තිබේ. සිවිල් සමාජ ක්ෂේත්‍රය තුළ දේශීය හා ජාත්‍යන්තර සමාගම් රැසක් හා සම්බන්ධ වී කටයුතු කර ඇති ඇය විසින් රචිත ලිපි ආදිය විවිධ සඟරා සහ පර්යේෂණ වාර්තා ආදියෙහි පළවී ඇත.

සේරා කබීර් මහත්මිය විසින් රචිත ප්‍රථම ‍ග්‍රන්ථය වන Voices Of Peace, වසර දෙකක කාලයක් පුරා සිදුකරන ලද පුළුල් මට්ටමේ පර්යේෂණ සහ ලේඛන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. දැනට මෙය පළවී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් වන අතර ඉදිරියේදී එය සිංහල සහ දෙමළ භාෂා වලට පරිවර්තනය කිරීමටද සැලසුම් කර ඇත.

මෙම කෘතිය දිවයිනේ ප්‍රධාන පෙළේ පොත්හල් වලින් ලබාගත හැකි වේ. ඇණවුම් කිරීම සඳහා සහ තොග වෙනුවෙන් විශේෂ මිලගණන් ලබාගැනීම සඳහා 0773 515262 අමතන්න.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top