Jan 14, 2019

ගෙවුණු දේවල් හාරඅවුස්සනවට මම කැමති නැහැ - දමිත්

ජනප්‍රිය ගායක දමිත් අසංකට පසුගිය වසරේ අගභාගයේ අභාග්‍ය සම්පන්න සිදුවීම් කිහිපයකට මුහුණ දීමට සිදුවුණි. කලක් නිහඬව සිටි ඔහු යළි මතු වුණේ ඔහු සිරගත කළාය යන අසුභ ආරංචියත් සමඟයි. එහිදී ඔහුට විරුද්ධව විවිධ චෝදනා නැඟුණු අතර ඔහු සිවුරක් පොරවා කළහකාරී ලෙස හැසිරෙන්නේ යැයි පවසමින් එසේ සිරගත කරනු ලැබිණි.

කෙසේ වෙතත් දෙසතියකට පසුව ඔහු සිර ගෙදරින් නික්ම ගියේ පෙර පැවතියාටත් වඩා වැඩි රසික ආදරයක් දිනා ගනිමිනි. ඔහුට නැඟුණු චෝදනාවලට ඔහු මෙතෙක් මාධය හමුවේ පිළිතුරු නොදුන්නද පසුගියදා මාධය නැඟු ප්‍රශ්න කිහිපයකට ඔහු මෙසේ පිළිතුරු ලබාදී තිබුණි.

ඔබ සිවුරක් ඇඳගෙන සිටි කතාව අසත්‍යයක්ද?

මම සිවුරක් ඇඳගෙන හිටපු කතාව ඇත්ත. ඒ සිවුර හොරෙන් අරන් ආවා කියලා බොරු චෝදනා කරලා මාව දවස් දාහතරක් හිරේ දැම්මා. ඒ සිවුර ලොකු ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතුව ගෙනාපු එකක්. නිර්මාණයක භික්ෂු චරිතයකට තමයි මම සිවුර ගෙනාවේ. මට මානසික ලෙඩක් තියෙනවා කියලා කියපු කතාවට මගේ ඥාති පිරිසක් ඇවිල්ලා එකපාරටම මට පිස්සු කියලා මාව පොලිසි අරන් ගියා. වෛද්‍යවරුන්ට දාලා මගෙන් පැය ගණන් ප්‍රශ්න කළා. අහපු ප්‍රශ්නවලට පිස්සු නැතත් පිස්සු හැදෙනවා. මම කොහොමත් කුඩා කාලයේ ඉඳලම බුදුදහමට ලැදි බුදුදහම භක්තියෙන් අදහපු පිළිපැදපු කෙනෙක්. මගේ හිත කියනවනම් බුදුදහම පැත්තට ආධ්‍යාත්මික මාර්ගයේ යන්න කියලා ඇඟ ඇතුළේ ඉන්න ගායකයව මට බලහත්කාරයෙන් නතර කරගෙන ඉන්න බැහැ. මට මේ ජීවිතයෙන් මිදීමේ අවශ්‍යතාවය කාලෙක ඉඳලා තිබුණා. ඒක මගේ කැමැත්ත. මම කියන්නේ ඔය කියන අවස්ථාවේ මම සිවුරක් දරාගෙන සිටි වෙලාවේ මට මානසික ආබාධයක් තියෙනවා කියලා පෙනුණා නම් මගේ ඥාතීන්ට කරන්න තිබුණේ මාව මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරන එක. ඒත් මෙතනදි වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

මම බුදු වෙලා කියලා මම කියනවා කියලා මිනිස්සු මා ගැන විවිධ කතා කියලා තිබුණා. බුදු වෙන්න සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න ඕන. මම සිවුරක් ඇඳගෙන හිටියේ දවසයි. මට තේරුම් ගන්න බැරි ඔයාලගේ හදවතට ගීත ගායනා කරපු මට ඇයි මිනිස්සු මේ වගේ දෙයක් කළේ කියලා.

මම හොඳට බණ අහපු ධර්මය එක්ක ජීවිතය තේරුම් ගත්ත කෙනෙක්. මට පන්සලේ සිවුරු හොරකම් කරලා අඳින්න ඕන නැහැ.

දමිත්ට ජීවිතේ ගැන කලකිරීමක් තියෙනවද?

කලකිරීමක් තියෙනවා. දැන් ඒ සියල්ලම සිද්ධ වෙලා ඉවරයි. කිසිම කෙනෙක් එක්ක මගේ හිතේ තරහක් නැහැ. බුදු හාමුදුරුවන්ටත් ලෙඩ රෝග දොළහක් තිබුණා. එහෙම එකේ මට මොන තරම් ලෙඩ රෝග තියනවද කියලා මම දන්නෙත් නැහැ.

ඔබ මේ තත්ත්වයට පත්වුණේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම සහ ප්‍රේම සම්බන්ධතාවක් මත කියන කතාවේ සත්‍යයක් තියෙනවද?

මිනිස්සු මැරෙනකම් ආදරේ කරනවා. ආදරේ ලබනවා. මට මුලින්ම ප්‍රේමණීය හැඟීමක් පහළ වුණේ ඉස්කෝලේ තුනේ පන්තියේදී. ඔය සමාජ ජාල වෙබ් අඩවිවලින් කියන කතා සියල්ල බොරු. මට කිසිම නිළියක් හෝ ගායිකාවක් සමග සම්බන්ධතාවක් තිබුණේ නැහැ. මගේ පෞද්ගලික ජීවිතේ විවිධාකාර ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. මම වරදක් කරලා තියෙනව නම් ඒක කියන්න මම බය වෙන්නෙත් නැහැ. ආදරේ කියන දේ ඉස්සරහ මිනිස්සු මුලාවෙනවා. ඒක මටත් පොදුයි. මම දෙපාරක් විවාහ වුණා. එක විවාහයක් අසාර්ථක වුණා. පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. එයාලාත් එක්ක අද මම බොහොම සතුටින් ජීවත් වෙනවා. ජීවිතේ විවිධ කාලවලදී විවිධ සම්බන්ධතා ඇතිවුණා. නැති වුණා. ඒවා අතීතයට ගිය දේවල්.

ඇත්තටම දමිත් අසංක කියන චරිතය රටේ ජනප්‍රිය චරිතයක් කළේ මමයි කියලා නිල්වලා අධිපති කියනවා?

කවදත් අතීතය ගැන මම දුක්වෙන්නේ නැහැ. ඔය කියන කාරණයේදී එක් අයෙක් නිසා මම ජනප්‍රිය වුණා කියන්න බැහැ. මම ජනප්‍රිය වුණේ මිනිස්සු මගේ ගීතවලට ප්‍රිය කරපු නිසා. උපුල් ජයසිංහ මහත්තයා මට උදව් කළා. අම්මා තාත්තා, මගේ පාසල, ගම, අතරමැද මුණගැහුණු චරිත මේ සියල්ලම මගේ ජනප්‍රියත්වයට ශක්තියක් වුණා.

මට ඒ අයගෙන් උදව් ලැබුණා. කොතැනකදීවත් මම නැහැ කියන්නේ නැහැ.

මේ සිදුවීමෙන් පස්සේ ප්‍රසංග වේදිකාවට ගොඩවුණා ද?

ඔව්. දෙසැම්බර් 31 ගෝල්ෆේස් පිට්ටනියේ තිබුණ ප්‍රසංගයට ගොඩවුණා. හිතේ නිදහසක් නැති නිසා මම ප්‍රසංගවලට පසුගිය දිනවල ගියේ නැහැ. දැන් මම සුපුරුදු විදිහට ප්‍රසංගවලට දායක වෙනවා. මම හිරේ ඉද්දිත් මම බන්ධනාගාරයේ ප්‍රසංගයකදී සින්දු කිව්වා. මම වෙනුවෙන් රසිකයෝ සහෝදර කලාකරුවෝ බෝධිපූජා තිබ්බා. මම වෙනුවෙන් කතා කළා. ඒ හැමකෙනාටම බොහොම පින්. මට හෙට වුණත් සින්දු කීම පැත්තකට දාලා ගමේ ගොවිතැන් කරන්න පුළුවන්. ඒත් මගේ රසිකයෝ වෙනුවෙන් මම වේදිකාවේ පුළුවන් කාලයක් ඉන්නවා. මගේ ජීවිතේ දැන් ආසාවල් හිතෙනවා අඩුයි. බන්ධනාගාරයේදී මගේ හිතට ආපු වේදනාවට මම හිතුවා මාව හිරේදීම මැරේවි කියලා. රසිකයන්ගේ ආශිර්වාදයෙන් තමයි මම නැවත ජීවත් වුණේ. මම හෙටක් ගැන හීන දකින්නේ නැහැ. ගෙවුණු දේවල් හාරඅවුස්සනවට මම කැමතිත් නැහැ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top