Apr 10, 2019

මළවුන් සමරන විලෝ සංස්කෘතික උළෙල (ඡායා / වීඩියෝ)

ලාලිත්‍යයෙන් පිරි විලෝ ගස් වල සුන්දරත්වය පිළිබඳව චීන, රුසියන් සාහිත්‍ය රසිකරසිකාවියන් හට නම් අමුතුවෙන් කිව යුතු නොවේ.

එහෙත් චීන වැසියන් ගේ සිත් තුළ විලෝ ගස් සඳහා හිමිවන්නේ සෞන්දර්යාත්මක සුන්දරත්වයට එහා ගිය වටිනාකමකි. ඒ වසන්ත සමයේ එළැඹෙන මළවුන් සමරන ‘චිංමින්’ උත්සවයේදීය.

අතීතයේ සිටි ඉහළ නිළධාරියෙකු අධිරාජ්‍යවරයා දක්වා ගෙන ඒමට සමත් වූ Jie Zitui නම් එක් ඉතා හිතවත් නිළධාරියෙකු සිටි අතර, වරෙක පිටුවහල් කර ඇති සිය නායකයා කුසගින්නෙන් මුදවාගැනීමට සිය පාදයේ මස් වැදැල්ලක් කපා ආහාර සකසා දීමට පවා ඔහු ඉතා ලෙන්ගතු විය. කෙසේවෙතත්, කාලයාගේ ඇවෑමෙන් මෙම නිලධාරියා සිය මහළු මව සමග කඳුකරයේ විසීමට තීරණය කළ අතර, ඔහුගේ සහය හා අවවාද අනුශාසනා අවශ්‍ය වූ අධිරාජ්‍යයාට මෙම මිනිසාව සොයාගැනීමට අපහසු විය. එබැවින් කඳුකරයට ගිනිතබා ඔහුව සොයාගන්නා මෙන් තමාට ලැබුණු වැරදි අනුශාසනාවක් පිළිපැදීමට අධිරාජ්‍යවරයා කටයුතු කළේය. කෙසේවෙතත්, අධිරාජ්‍යවරයා හට සිය තීරණයේ බරපතලකම තේරුම් ගොස් ඇත්තේ තමාගේ අතිවිශ්වාස සහයකයා සිය මහලු මව සමග විලෝ ගසක් පාමුල මියගොස් ඇති අයුරු දුටුවිටය. මෙම දසුනෙන් දැඩි ශෝකයට පත් ඔහු, මෙම නිලධාරියා ගේ මරණය අනුස්මරණය කිරීමට සීතල ආහාර පමණක් ගන්නා ‘හන්ෂි’ උත්සවය ප්‍රකාශයට පත් කළේය. මෙම මරණයෙන් දෑ අවුරුද්දකට පසුව සිය විශ්වාසවන්ත නිලධාරියා මියගිය විලෝ ගස පාමුලට ගිය අධිරාජ්‍යවරයා හට දක්නට ලැබුනේ විලෝ ගස යළිත් දළු ලා ඇති අයුරුයි. ඒ සමග එම ගස ‘චිංමින්’ විලෝ ගස ලෙස ඔහු විසින් නම් කරනු ලැබීය. ඊට අමතරව හන්ෂි උත්සවයට පසුදිනය ‘චිංමින්’ උත්සවය ලෙස නම් කරනු ලැබුණි.

අදටත් චිංමින් උළෙල අතරතුර විලෝ ගසට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. පසුගිය 05දා ‘චිංමින්’ උත්සවය සමග විලෝ සංස්කෘතික උළෙලක් බීජිං හි විලෝ උද්‍යානයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා ප්‍රදේශයේ බාල මහළු රැසක් සහභාගී විය.

ඇතැමුන් විසින් ‘හන්ෆු’ ලෙස හැඳින්වෙන සාම්ප්‍රදායික චීන ඇඳුම් වලින් සැරසී සිටි අතර, බොහෝදෙනෙකු විසින් විලෝ අතු වලින් සැකසුනු වළලු සිය හිස්මත පැළඳ සිටියහ. මෙම උත්සවයට නර්තන අංග, සාම්ප්‍රදායික ඇඳුම්, විලෝ ගස් හා බැඳුනු කවි ඇතුළු අංග රැසක් ඇතුළත් විය.

ඊට අමතරව මල්පෙති වලින් සැරසුනු ජල බඳුනක දැමූ විලෝ ඉති මගින් එම තෙතමනය අත්වලට ඉසිමින් සිදුකරන ‘ෆූ ෂී’ චාරිත්‍රය ද සිදුකෙරුනු අතර, මෙමගින් නපුරු ආත්ම පළවා හැරෙන බව චීන ජාතිකයන්ගේ විශ්වාසයයි. ඊට අමතරව සිත් වල නව බලාපොරොත්තු සමග විලෝ අතු පැළ කිරීමේ අංගයක් ද මෙම උත්සවයේදී පැවැත්වුණි.

විලෝ උද්‍යානයේදී පැවැත්වුණු මෙම අපූරු විලෝ සංස්කෘතික උළෙලේ අවස්ථා කිහිපයකි මේ.

(සටහන, වීඩියෝ හා ඡායා : ශානිකා ජයසේකර, බීජිං සිට)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top