ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් තුළ ඉතා ඉහළ ප්‍රේක්ෂක රසිකත්වයක් හිමි ජැකලින් පසුගියදා ඩිජිටල් ලෝකයේ නව පිම්මක් සනිටුහන් කළාය.
ඒ, සිය යූ ටියුබ් නාලිකාව දියත් කරමිනි.
ජැකලින් විසින් සිය නාලිකාවට එක්කළ පළමු වීඩියෝව මගින් ඇගේ ළමා කාලය, ඇගේ දෙමාපියන්, නිරූපිකාවක් වශයෙන් වේදිකාවට එක් වූ පළමු අවස්ථාව හා මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පළඳින මොහොත ඇතුළු ඇගේ ජීවිතේ විශේෂ අවස්ථා ඇතුළත් දසුන් පෙන්වයි.
"ආපහු හැරිලා බලනකොට, මට හැමතිස්සෙම කැමරාව එක්ක විශේෂ සම්බන්ධයක් තිබ්බා කියල හිතෙනවා... මට තිතෙන්නෙ මං හැමදාටම කැමරා හිතකාමී - සතුටින් හිටිය ළමයෙක්... ඒකට මට ස්තූති කරන්න දෙන්නෙක් ඉන්නවා... ඒ මගේ තාත්තයි අම්මයි..., " යැයි ඇය වීඩියෝවේ පවසන්නීය.
පසුගිය මාසයේදී ආලියා භාත් ද සිය ඩිජිටල් නාලිකාව දියත් කළේ රසිකයන් හට සිය ජීවිතය විවර කරමිනි. ප්‍රියංකා චොප්රා සහ ශිල්පා ෂෙට්ටි ද ඔවුන්ගේම යූ ටියුබ් නාලිකා හිමි බොලිවුඩ් නිළියන් ය.
වසර 2009 දී සුජෝයි ගොෂ්ගේ "ඇලඩින්" චිත්‍රපටයෙන් බොලිවුඩ් පුරවරයට පිවිසි ජැකලින්, අමිතාබ් බච්චන් සහ රිතේෂ් දේශ්මුඛ් සමග එම චිත්‍රපටයේ රඟපෑවාය. මෙම චිත්‍රපටය වාණිජ වශයෙන් අසාර්ථක වූ නමුත්, ඇය පසුකාලීනව "හවුස්ෆුල් 2",
"මර්ඩර් 2", "කික්", "බ්‍රදර්ස්", "ඩිෂූම්" සහ "ජුඩ්වා" වැනි බොලිවුඩ් චිත්‍රපටවලට එක්විය.
කෙසේවෙතත්, මෑතකාලයේදී ශ්‍රී ලංකාව තුළ ඇය වැඩි අවධානයක් දිනාගත්තේ චන්ද්‍රන් රත්නම් ගේ අධ්‍යක්ෂණයක් වූ 'අකෝඩින් ටු මැතිවු' චිත්‍රපටය ඔස්සෙනි. හැත්තෑ වැනි දශකයේදී කොළඹ නගරයම හෙල්ලූ කුප්‍රකට මැතිවු පීරිස් ද්විත්ව ඝාතන සිද්ධිය
ඔස්සේ නිර්මාණය වූ මෙම චිත්‍රපටය තුළ ඇය නිරූපණය කළේ මැතිවු පීරිස් පියතුමා ගේ පෙම්වතිය බවට පත්වන ඩැල්රීන් ඉන්ග්‍රම් ගේ චරිතයයි.