Aug 13, 2019

ශාරුක් ගේ සිම්බා

නවතම ලයන් කිං චිත්‍රපටය ලොවපුරා ඩිස්නි රසික රසිකාවියන් ගේ අමන්දානන්දයට හේතු වූ අතර, එම චිත්‍රපටය බොලිවුඩ් පුරයේ බාද්ශාහ් ලෙස හැඳින්වෙන සුපිරි නළු ශාරුක් ඛාන් ගේ සතුටට ද හේතු වී තිබේ.

ඒ, එහි හින්දි බසින් හඬකැවූ ලයන් කිං චිත්‍රපටය සඳහා සිය පුත්‍රයා වන ආර්යන් සමග සිය හඬ දායකත්වය ලබාදීමට ඔහුට අවස්ථාව ලැබීම හේතුවෙනි.

මෙහිදී ශාරුක් හා ආර්යන් පිළිවෙළින් 'මුෆාසා' හා 'සිම්බා' ගේ චරිත වලට හඬකවා ඇත.

ආර්යන් විසින් හඬකැවූ මෙම චිත්‍රපටයේ කුඩා කොටසක් ශාරුක් විසින් පසුගියදා ට්විටර් වෙත මුදාහැර තිබුණේ 'මේරා සිම්බා' (මගේ සිම්බා) ලෙස කෙටි ශීර්ෂයක්ද එක්කරමිනි.


 මෙම ට්විටර් පණිවිඩයට රීට්වීට්ස් 9,200ක් ද ලයික්ස් 62,500ක්ද ලැබී ඇත. මේ පිළිබඳ අදහස් දැක්වූ බොහෝදෙනා පවසා තිබුණේ ආර්යන් ගේ හඬ බොහෝ සෙයින් ශාරුක් ගේ හඬට සමාන බවයි.

මේ අතර, පසුගියදා Indiatoday.in සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශාරුක් පවසා ඇත්තේ සිය පුත්‍රයා සමග මෙම හඬකැවීම සඳහා එක්වීම ඇදහිය නොහැකි මෙන්ම ඉතා විනෝදකාමී අත්දැකීමක් වූ බවයි.

සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින්, ශාරුක් සිය දරුවන් වන ආර්යන් සහ සුහානා විනෝදාස්වාද ක්‍ෂේත්‍රයට අවතීර්ණ වීම පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් දක්වා ඇති අතර, ඔහුගේ උරුමයෙන් බැහැරව, ඔවුන් විසින් චිත්‍රපටවලට නව යමක් ගෙන ඒම වැදගත් බව ඔහු අවධාරණය කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top