Aug 26, 2019

ප්‍රවීන කලාකරුවන්ට ඇමරිකාවේ දී හරසර

ශ්‍රී ලංකා රංග කලාවේ වේදිකා නාට්‍ය කේෂ්ත්‍රයේ කීර්තිමත් රංගන හා වාදක ශිල්පීන් පිරිසක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සහ පිළිගැනීම සහ ඔවුන් කළ මෙහෙවර අහය කිරීම සඳහා වැඩසටහනක් වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පසුගිය 15දා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙහිදී ශ්‍රී ලංකාවේ කලා කේෂ්ත්‍රයේ විශේෂයෙන් වේදිකා නාට්‍ය කේෂේත්‍රයේ නියැලෙමින් සම්මානයට පාත්‍රවූ නිශ්ශංක දිද්දෙනිය, මැණිකේ අත්තනායක, බන්දුල විජේවීර, රවීන්ද්‍ර යසස්, ෆර්නි රෝෂිණි යන කලා කරුවන් සහ විශාරද සරත් පිරීස්, සුසන්ත මදුරප්පෙරුම, සුරංග ගීගනගේ යන සංගීත ශිල්පීන් ද ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා විසින් විශේෂ ඇගැයීමකට ලක් කර තිළිණ ප්‍රදානයක් සිදු කරන ලදී.

වර්තමානයේ නව තාක්ෂණය, ආර්ථික බලපෑම් හා කාර්ය බහුල ජීවන රටා නිසා ක්‍රමයෙන් ගිලිහී යන වේදිකා නාට්‍ය කලාව මෙන්ම පැරණි ශෛලීගත නාට්‍ය කලාව සහ ශ්‍රී ලාංකේය අතීත සංස්කෘතික උරුමයන් අභාවයට පත්වීමට ඉඩ නොදී, ඉදිරි පරපුරට මෙන්ම ලංකාවෙන් පිටත වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත ඉදිරිපත් කරමින් නොනැසී පවත්වා ගැනීමේ වැදගත්කම උත්සව සභාවේදී තානාපති තුමා විසින් පෙන්වා දෙන ලදී.

පැමිණ සිටි කලාකරුවන් අතරින් නිශ්ශංක දිද්දෙනිය මහතා සහ ෆර්නි රෝෂිණි මහත්මිය විසින් අදහස් දැක්වූ අතර, මෙසේ ඔවුන් පිළිගෙන ඔවුන් වෙත දැක්වූ මෙම උපහාරය කලාකරුවන් වශයෙන් ලැබුනු සුවිශේෂී අවස්ථාවක් ලෙසත්, කලාකරුවන් ලෙස ඔවුන්ගේ නිර්මාණ තව දුරටත් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට දරණ උත්සාහයන් හිදී මව්රටින් එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් ප්‍රසංග සංවිධානය කිරීමෙන් සිදුකරන මහඟු දායාකත්වයත් අහය කරන ලදී.

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලංකීකයන් වෙනුවෙන් “නාට්‍ය ගී සමඟ අතීතයේ රස ගී" ලෙස ප්‍රසංගයක් වොෂින්ටන් හි සංවිධානය කළ, වොෂින්ටන් හි ශ්‍රී ලංකා රංග කලා කවයේ සභාපති ඇතුළු සංවිධායක මණ්ඩලයට සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කීපයකම මෙම ප්‍රසංගය සංවිධානය කරන ශ්‍රී ලාංකික සංවිධානයන්ට ද තානාපති තුමා විසින් විශේෂ ස්තුතිය පිරිනමන ලදී.

ArtistSL 670px 19 08 26

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top