Sep 13, 2019

විරාජිනිගේ මකරන්ද රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පත්‍ර වෙයි 

 
ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2019 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
 
2018 වසරේ ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවාව අගයකරමින් ලේඛක ලේඛිකාවෝ රැසක්මෙහිදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.
 
මීට අමතරව ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් කළ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය සාහිත්‍ය නිර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න ගෞරව සම්මානය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදුවූ අතර සිංහල මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතා ද, දෙමළ මාධ්‍ය වෙනුවෙන් අයියතු‍ රෛසාන්තන් මහතා ද, ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් කමලා විජයරත්න මහත්මිය ද මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ. 
 
හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාවට හිමි සම්මානයෙන් “මකරානන්දය”නවකතාව රචනා කළ විරාජිනි තෙන්නකෝන් ලේඛිකාව පිදුම් ලැබුවාය.
 
හොඳම ස්වතන්ත‍්‍ර ඉංශ්‍රීසි නවකතාවට හිමි සම්මානය “Kakiyan”නවකතාව වෙනුවෙන් එල්මෝ ජයවර්ධන මහතාට හිමිවිය.
 
හොඳම ස්වතන්ත‍්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය “අලූවාකෙරෙ”නවකතාව වෙනුවෙන් එස්.ඒ උදයන් මහතා ලබා ගන්නා ලදී.
 
මේ අතර වසරේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණ ග්‍රන්ථය වෙනුවෙන් පිරිනැමුණු රාජ්‍ය සාහිත්‍ය සම්මානය නන්දන වීරසිංහ මහතා රචනා කළ “ක්ෂණනියාම”කාව්‍ය සංග්‍රහයට හිමිවිය. 
 
රාජ්‍යසාහිත්‍යඋපදේශකමණ්ඩලය, ශ්‍රී ලංකාකලාමණ්ඩලය, සංස්කෘතිකකටයුතු දෙපාර්තමේන්තුව සහසංස්කෘතිකකටයුතු අමාත්‍යාංශයසම්මාන උලෙළ වාර්ෂිකව සංවිධානයකරනු ලබයි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුශා ගෝකුළ ප්‍රනාන්දු, ශ්‍රී ලංකා කලාමණ්ඩලයේ සභාපති මහාචාර්ය ආරියරත්න කලූආරච්චි, රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන්ත හේරත් යන මහත්වරුන් සහ විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සම්මාන උලෙළට එක්ව සිටියහ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top