Feb 10, 2020

සංගා, බාලසුබ්‍රමනියම් එකම වේදිකාවේ ඇගයෙයි

'හම් ආප්කේ හේ කෝන්', රෝජා වැනි සුප්‍රකට චිත්‍රපට වල ගීත ඇතුළු ඉන්දීය භාෂා 16කින් ගීත 40,000කට වැඩි ප්‍රමාණයක් ගායනා කර ඇති ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී - එස්. පී. බාලසුබ්‍රමනියම් පසුගියදා ශ්‍රී ලංකාවේදී ඇගයීමට ලක්විය.

ඒ, පසුගිය සතියේදී වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණ ශාලාවේදී පැවති මෙරට කම්බන් කලගම් සම්මාන උළෙලේදීය.

තමා මෙලෙස ලද 'කම්බන් පූගල්' සම්මානයේ ගෞරවයෙන් තමාට හිමිවන්නේ 10%ක් පමණක් බවත්, ඉතිරි ගෞරවය මෙම ගීත සංගීතවත් කළ සංගීත ශිල්පීන්ට, ගීත ලියූ ගීත රචකයින්ට, පටිගත කළ ශිල්පීන්ට මෙන්ම එම ගීත රසවිඳින්නන් හට හිමිවිය යුතු බව ඔහු පැවසීය.

තවද, දෙමළ කලාව හා සංස්කෘතිය සම්බන්ධ උනන්දු පිරිසක් ලොව වෙන කිසිම රටක තමා දැක නැති බවද හෙතෙම පැවසීය.

කෙසේවෙතත්, බාලසුබ්‍රමනියම් මහතා ගේ සතුටට හේතුවූයේ මෙම සම්මානය ලැබීම පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සමග එකම වේදිකාවක පිදුම් ලැබීම, දැවැන්ත ක්‍රිකට් ලෝලියෙකු වන බාලසුබ්‍රමනියම් මහතා ගේ දැඩි සතුටට හේතුවිය.

"මා මීට පෙර මෙවැනි ගෞරවයක් අත්විඳ නෑ. සංගක්කාර සමග මෙම අවස්ථාවට එක්වීම සම්බන්ධයෙන් මා දැඩි ලෙස සතුටු වනවා. සංගක්කාර යනු ලාංකේය සංස්කෘතිය සම්බන්ධයෙන් සිටින හොඳම තානාපතිවරයෙක්," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව දෙමළ ජාතික සන්ධානයේ නායක - ආර් සම්බන්ධන් මහතා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු - එස්. තුරෙයිරාජා මහතා හා ලේඛකයෙකු වන ඒ. මුත්තුලිංගම් මහතා ඇතුළු කැපී පෙනෙන පුද්ගලයන් කිහිපදෙනෙකු ද මෙහිදී සම්මානයට පාත්‍ර විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top