නවසීලන්තයේ ඔක්ලන්ඩ් හි පැවති මෙම ප්‍රසංගය ඔහු ගේ Farewell Yellow Brick Road සංචාරයේ කොටසක් විය.
'කැන්ඩ්ල් ඉන් ද වින්ඩ්' හා 'ඕල් ද ගර්ල්ස් ලව් ඇලිස්' වැනි ගීත කිහිපයක් ගායනා කළ ඔහුට, 'ඩැනියල්' ගීතය අතරමගදී තවදුරටත් ගායනා කිරීමට නොහැකි වී ඇත.
සිය කටහඬ අහිමි වී ඇති බවත්, තමාට තවදුරටත් ගායනා කළ නොහැකි බවත් පවසමින් ඔහු ප්රේක්ෂකයන්ගෙන් සමාව අයැද ඇත.
ප්‍රසංගය ඇරඹීමට පෙරද සිය ප්‍රේක්ෂකයන් අමතමින් ජෝන් මහතා පවසා තිබුණේ තමා වෝකින් නිවුමෝනියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බවයි.
ඔහු සහයකයන් කිහිපදෙනෙකු සමග ප්‍රසංග වේදිකාවෙන් නික්ම ගොස් තිබුණේ ප්‍රේක්ෂකයන් ගේ දැවැන්ත අත්පොලසන් නාදය හා උණුසුම් හරසර මැදයි.
තමා හට මෙම ප්රසංගයේදී ලද සහයෝගය ඉතා ඉහලින් අගය කරන බවත්, ස්තූතිවන්ත වන බවත් ඔහු සමාජ ජාල මාධ්‍ය වල සටහනක් යොදමින් පසුව පවසා ඇත.
ලොව ජනප්‍රියතම සජීවී සංගීතඥයන් අතර ඉදිරියෙන්ම සිටින එල්ටන් ජෝන්, ඉදිරියේදී සිය පවුල වෙනුවෙන් වැඩි අවධානයක් ලබාදීමේ අරමුණෙන් සිය රසික රසිකාවියන්ට සමුදෙන බවට වසර 2018 දී ප්‍රකාශ කළේය.
කෙසේවෙතත්, සිය රසික රසිකාවියන්ට සමුදීමට ඔහු දින 300ක ප්‍රසංග මාලාවක් පවත්වන බව පැවසීය.