May 01, 2020

සුමිත්‍රා පීරිස් ට ජපානයෙන් සම්මානයක්

කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන කලා කීර්ති සුමිත්‍රා පීරිස් මහත්මිය හට ජපානය විසින් “The Order of the Rising Sun” සම්මානය පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.

ජපාන මිත්‍රත්ව සබඳතාවයන් වැඩි දියුණු කිරීම පිණිස අග්‍රගණ්‍ය දායකත්වයන් දක්වන ලද විදෙස් ජාතිකයින් හට ජපාන අධිරාජ්‍යවරයා විසින් මෙම සම්මානය පිරිනැමීම සිදුකරනු ලබයි.

මෙවර මෙම සම්මානයෙන් පිදුම් ලබන පුද්ගලයන් ඊයේ (29) දිනයේදී ජපන් රජය විසින් දැනුම් දී තිබුණි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මෙරට ජපන් තානාපති කාර්යාලය පවසා ඇත්තේ මෙසේය :

"ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මගින් සිදු කරන සම්මාන පිරිනැමීමේ කමිටුවේ සමාජිකාවක ලෙසත්, සුමිත්‍රා පීරිස් මහත්මිය විසින් විශිෂ්ට ලෙස සිනමා කලාව ඔස්සේ දෙරටෙහි ජනතාව සම්බන්ධ කිරීම තුලින් ශ්‍රී ලංකාව හා ජපානය අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමෙහි ලා නොමැකෙන සලකුණක් තබා ඇත. පීරිස් මහත්මිය විසින් කිට්ටුවෙන් ඇසුරු කරනු ලැබූ කුරොසාවා අකිරා මහතාගේ සියුම් සිනමා ශෛලිය ඔස්සේ යමින් නිර්මාණය කරන ලද ඇගේ විශිෂ්ටතම සිනමා කෘතිය වූ “සාගර ජලය” 1990 දී NHK රූපවාහිනී සේවය මගින් විකාශනය කරනු ලැබූ අතර, එය බොහොමයක් ජපන් ජනතාවගේ හදවත් බැඳ ගැනීමට සමත්විය. ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මගින් සිදු කරන සම්මාන පිරිනැමීමේ කමිටුවේ ආරම්භක සමාජිකාවක ලෙස, සුමිත්‍රා පීරිස් මහත්මිය විසින්, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පෝෂණය කිරීමෙහි ලා සුවිශේෂී මෙහෙවරක් ඉටුකර ඇති අතර, මෙම සම්මානයට පාත්‍ර වූ අයෙකු වශයෙන් දිවයින් දෙක අතර සංස්කෘතික බැඳීම් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරයි."

මීට අමතරව ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ගරු සභාපති, සිසිර කුමාර මහතා ද “The Order of the Rising Sun” සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත බව ජපන් තතාපති කාර්යාලය නිවේදනය කරයි.

සබැඳි පුවත් :
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලන සභාපතිට ජපානයෙන් සම්මානයක්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top