May 05, 2020

අලුත් Twilight පොත අගෝස්තු 04දා එළිදකියි!

ලොව සුවහසක් ලෝලීන් ගේ ආදරයට පාත්‍ර වූ 'ට්වයිලට්' කතාමාලාවට නව ග්‍රන්ථයක් එක් වන බව එහි කර්තෘ ස්ටෙෆනි මෙයර් සනාථ කර තිබේ.

'ගුඩ් මෝනින් ඇමෙරිකා' නම් ඇමෙරිකානු රූපවාහිනි වැඩසටහන වෙත වීඩියෝ පණිවිඩයක් එක් කරමින් ඇය පවසා තිබුණේ 'මිඩ්නයිට් සන්' නම් මෙම කෘතිය අගෝස්තු 04 දා එළිදක්වන බවයි. 

'ට්වයිලට්' මාලාවේ කතානායිකාව වූයේ එහි ප්‍රධාන කාන්තා චරිතය වන බෙලා ස්වෝන් විසින් වුවද, 'මිඩ්නයිට් සන්' කෘතියේදී බෙලා-එඩ්වර්ඩ් ගේ ආදර අන්දරය දිගහැරෙන්නේ එඩ්වර්ඩ් ගේ දෘෂ්ටිකෝණයෙන් හා ඔහුගේ සිතිවිලි සමගිනි.

මෙම පුවත 'ට්වයිලට්' ලෝලීන් හට සුවිශේෂී පුවතක් වන්නේ එම කෘතිය පළ නොවන බවට ස්ටෙෆනි විසින් මීට කලින් පවසා තිබීම හේතුවෙනි.

ට්වයිලයිට් මාලාවේ සාර්ථකත්වයත් සමග 'මිඩ්නයිට් සන්' ලිවීමට ස්ටෙෆනි ඇරඹුවද, එහි පළමු පරිච්ඡේද කිහිපය 2008 දී අන්තර්ජාලයට ලීක් වීමෙන් අනතුරුව එය ලිවීම දින නියමක් නොමැතිව කල්තැබූ බව ඇය ප්‍රකාශ කළාය.

තමා විසින් සම්පූර්ණ නොකරන ලද්දක් එසේ අයෙකු විසින් හොර රහසේම අන්තර්ජාලයට එක්කිරීමෙන් ලේඛිකාවක් ලෙස මෙන්ම පුද්ගලයෙකු වශයෙන් තමාගේ අයිතීන් උල්ලංඝනය වූ බව ඇය පවසා තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top