May 28, 2020

ඉස්සර මාත් සංක්‍රමණිකයෙක් - සෝනු සූද්

Covid-19 වසංගතය හමුවේ මුළුමහත් ඉන්දියාවම ලොක්ඩවුන් වීමත් සමග වැඩිම අසරණභාවයට පත්වී තිබුණේ ගම් වල සිට රැකියා සඳහා නගර වෙත සංක්‍රමණය වූ පිරිස්ය. ඉන් වැඩි පිරිසක් දෛනික වැටුප් ලබන්නන් වූ අතර, මුදල් හා ආහාර නොමැතිව තවදුරටත් නගර වල රැඳී සිටි නොහැකි බැවින් ගම්බිම් බලා යාමට බොහෝ අය තීරණය කර තිබුණි.

කෙසේවෙතත්, පොදු ප්‍රවාහන සේවා නොමැතිකම හේතුවෙන් දරුමල්ලන් සමග කිලෝමීටර් දහස්ගණනක් පයින් යාම හැර ඔවුන්ට වෙන විකල්පයක් නොතිබූ අතර, මෙලෙස ගමන් ගන්නා පුද්ගලයන් විඳිනා අනේක දුක්ගැහැට පිළිබඳ හද කම්පා කරවන පුවත් දිනපතාම වාර්තා විය.

මුම්බායි නගරයේද මෙම ගැටළුවට මුහුණ දුන් පුද්ගලයන් හට නම් ඔවුන් ගේ ගැලවුම්කරු මේ වන විට හමුවී අවසන්ය. ඒ බොලිවුඩ් පුරවරයෙනි. සාමාන්‍යයෙන් දුෂ්ඨ චරිත වලට පණපෙවූවත්, බොලිවුඩ් නළු සෝනු සූද් මේ වන විට දුක්විඳින ජනයා හට වීරයෙකු බවට පත්වී අවසන්.

ඒ, මුම්බායි නගරයේ කොටුවී සිටින පිට ප්‍රාන්ත වල ජනයා හට සිය ගම්බිම් බලා යාමට බස්රථ සේවාවක් ආරම්භ කිරීමත් සමගිනි.

සිය මිතුරු මිතුරියන් කිහිපදෙනෙකු සමග මෙන්ම සිය පවුලේ සාමාජිකයන් ගේ සහය ඇතිව ඔහු මෙම දැවැන්ත සේවයේ නිරතව සිටියි. මේ සඳහා බොලිවුඩ් පුරයේ සිටින ඔහුගේ මිතුරු මිතුරියන් වන රෝහිත් ෂෙට්ටි, තාබු හා ෆරා ඛාන් සහය ලබාදී ඇත.

මේ වන විට, මුම්බායි සිට කර්නාටක, රාජස්තාන්, ජාර්ඛණ්ඩ්, ඔඩිෂා, උත්තර් ප්‍රදේශ් හා බිහාර් යන ප්‍රාන්ත වලට බස්රථ යැවීමට ඔහු සමත් වී ඇත. ඉදිරියේදී ටෙලෙඟනා වලට බස් රථ පිටත් කිරීමට අරමුණු කර සිටින බවත්, මහාරාෂ්ඨ ප්‍රන්තයේ මේ වන විට පිටතින් කිසිවෙකුට යා නොහැකි බැවින් තව ටික කාලයක් බලා සිටින බවද ඔහු පවසයි.

මේ පිළිබඳව මාධ්‍ය වෙත ඔහු අදහස් දක්වා ඇත්තේ මෙසේය : “මං මේ සංක්‍රමණිකයින්ට උදව් කරන්න ඉදිරිපත් වුන හේතුව මේකයි... ඉස්සෙල්ලාම මං මුම්බායි එද්දි මාත් සංක්‍රමණියෙක්. මං මුලින් මුම්බායි වලට ආවෙ ගොඩක් හීන එක්ක. මොවුන් ගේ දුක දකිද්දි මට මගේ මුල් කාලය මතක් වුනා. මං මුලින් මුම්බායි ආවෙ කෝච්චියෙ... කලින් වෙන් කරගත්ත ප්‍රවේශපත්‍රයක්වත් නැතිව.... මං දොර ළඟ හිටගෙන ඉඳලා නිදාගත්තෙ වැසිකිළි දොර ළඟ තියෙන ඉඩ ප්‍රමාණයේ. මේ දුක මට තේරෙනවා..."

අවසන් සංක්‍රමණිකයා සිය ගම්බිම් බලා යන තෙක් තමා දිගින් දිගටම මෙම කර්තව්‍යයේ නිරත වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top