Jun 30, 2020

‘ද නිව්ස් පේපර්’ පළමු මහජන දර්ශනය නොමිලේ

ජුලි 02 වනදා සිට දිවයිනේ සියලුම සිනමා ශාලාවල ප්‍රදර්ශනය වීමට නියමිත “ද නිව්ස් පේපර්” චිත්‍රපටයේ එදින පෙ.ව. 10.30 ට පැවැත්වෙන ප්‍රථම දර්ශනය නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව සලසා දී ඇතැයි වාර්තා වේ.

තවද කොවිඩ් මර්දනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ මාධ්‍යවේදීන්ට ද තම නිල හැඳුනුම්පත භාවිත කරමින් එක් වතාවක් සිනමා පටය නොමිලේ නැරඹීමේ අවස්ථාව ද හිමිවන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණයක් වූ “ද නිව්ස් පේපර්”චිත්‍රපටයෙහි සම නිෂ්පාදනය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරිගෙනි.

මේ අතර, මෙම චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් ඊයේ පස්වරුවේදී කොළඹ One Galleface – PVR සිනමාශාලාවේදී පැවැත්වුණි. මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනපති ආර්යා අයෝමා රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු අමුත්තන් පිරිසක් එක්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top