Oct 16, 2020

'ෆනී බෝයි' දෙසැම්බරයේදී නෙට්ෆ්ලික්ස් වෙතින්

සම්මානනීය අධ්‍යක්ෂවරියක් සහ නිෂ්පාදකවරියක් වන දීපා මෙහ්තාගේ නවතම චිත්‍රපටිය වන 'ෆනී බෝයි' (Funny Boy) මේ දෙසැම්බරයේදී නෙට්ෆ්ලික්ස් ඔස්සේ එළිදැකීමට නියමිතය.

මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ 1994දී එළිදක්වූ සම්මානනීය ශ්‍රී ලාංකික ලේඛක ශ්‍යාම් සෙල්වදුරෙයිගේ 'ෆනී බෝයි' නවකතාව ඇසුරෙනි. මෙම නවකතාව පසුව සුගතපාල ද සිල්වා විසින් 'අමුතු ඉලන්දාරියා' ලෙසද පරිවර්තනය විය.

සෙල්වදුරෙයි සමග එක්ව තිර රචනය සිදුකළ මෙහෙතා, මෙම චිත්‍රපටයේ රූගතකිරීම් ලංකාවේදී සිදුකළාය. ඇගේ පෙර නිර්මාණ වන ෆයර් (Fire), අර්ත් (Earth), වෝටර් (Water) සිනමාපට ත්‍රිත්වයේ වෝටර් (Water) චිත්‍රපටියද, ඉන් පසු මිඩ් නයිට්ස් චිල්ඩ්රන් (Midnight's Children) රූගත කෙරුනේද ලංකාවේදීයි.

කොළඹ ධනවත් දෙමළ පවුලක පිරිමි ළමයෙකු වන 'ආර්ජි' නව යොවුන් වියට පැමිණීමේදී සිය ලිංගික අනන්‍යතාවය ගවේෂණය කිරීම හා 1983 කළු ජූලිය හා සම්බන්ධව 'ෆනී බෝයි' කතාපුවත ගොඩනැගෙයි. ශ්‍රී ලංකාවේ ඉපිද හැදී වැඩෙන ශ්‍යාම් සෙල්වදුරෙයි ද 1983 ඇති වූ ජාතිවාදී කෝලාහල හේතුවෙන් සිය පවුල සමඟ කැනඩාවට සංක්‍රමණය වූයෙකි.

මෙම චිත්‍රපටය දෙසැම්බර් 10දා නෙට්ෆ්ලික්ස් ඔස්සේ එළිදකිනු ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top