Nov 10, 2020

ලාංකීය සූපවේදයෙන් ඔස්ට්‍රේලියාවේ කිරුළු පැළදූ ජෝර්ජියා Featured

‘Junior Masterchef Australia 2020’ හි කිරුළ හිමි කරගන්නට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 11 හැවිරිදි ජෝර්ජියා සමත් විය.

එම වැඩසටහනෙහි අවසන් මහා තරගය ඔස්ට්‍රේලියානු රූපවාහිනී නාලිකාවක් වන Network 10 හි ඊයේ (09) විකාශය වුණු අතර සෙසු තරගකරුවන් අභිබවා ජයග්‍රාහකයාට හිමි ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000ක් මුදල් ත්‍යාගය ද ජෝර්ජියා දිනා ගත්තා.

ජෝර්ජියා ඇතුළුව අවසන් වටය නියෝජනය කරමින් තරගකරුවන් තිදෙනෙක් ‘Junior Masterchef Australia 2020’ සඳහා සහභාගී වුණු අතර ඔවුන්ට පැවරුණු අභියෝගය වූයේ තරග වට දෙකකදී ප්‍රධාන ආහාර වේලක් සහ අතුරු පසක් සෑදීමය.

ජෝර්ජියා සිය ප්‍රධාන ආහාර වේල සඳහා ශ්‍රී ලංකික ආහාර වේලක් වන ඌරු මස් ව්‍යාංජනයක්, කජු ව්‍යාංජනයක්, වම්බටු ව්‍යාංජනයක්, පපඩම්, පිපිඤ්ඤා රයිතා සහ කහ බතක් සකස් කළාය.

එමෙන් ම, toasted coconut ice cream, brown bread crumb, Davidson plum pearls, Davidson plum meringues සහ lemongrass granita එකතුවෙන් අතුරුපසක් ද ඇය සකස් කළාය.

"මම මගේ ආච්චිට සහ සීයාට ගොඩක් කිට්ටුයි.මගේ ආච්චි සහ සීයා ශ්‍රී ලාංකිකයින්. මගේ ආච්චි මට ලංකාවේ කෑම වර්ග ගොඩක් හදන්න කියලා දීලා තියෙනවා." යැයි ඇය මෙහෙදී සදහන් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top