Aug 01, 2022

ශකීරා ට අට වසරක සිරදඬුවමක්?

බදුගෙවීම පැහැර හැරීමේ චෝදනා මත සුපිරි පොප් ගායිකා ශකීරා හට අට වසරක සිරදඬුවමක් නියමවිය හැකි බව වාර්තා වේ.

වසර 2012 - 2014 අතර කාලය තුළ යූරෝ මිලියන 14.5ක බදු ගෙවීමට අපොහොසත් වූ බවට කොලොම්බියානු ගායිකාවට චෝදනා එල්ල වී ඇත.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ තමන් විසින් දුටු ලියවිල්ලකට අනුව ශකීරා 2012 දී බාසිලෝනා හි නිවසක් මිලදී ගත් බවත්, එය ඇයට සහ ඇගේ එවකට සහකරු වූ බාර්සිලෝනා පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පික් ගේ පවුල් නිවස බවට පත් වූ බවත්ය.

එම ලියවිල්ලට අනුව, මෙම චෝදනා ඔප්පු වුවහොත් අට වසරක සිරදඬුවමකට අමතරව ඇයට යූරෝ මිලියන 24ක් ද ගෙවීමට සිදුවේ.

මෙම නඩුව සම්බන්ධයෙන් සමථ ගිවිසුමකට පැමිණ අවසන් කිරීමට පසුගිය සතිය මුලදී ශකීරා ප්‍රතික්ෂේප කර තිබුණි.

ශකීරාගේ නියෝජිතයින් විසින් නිකුත් කළ ඇති ප්‍රකාශයක් දැක්වෙන්නේ ශකීරා හට "සිය නිර්දෝෂීභාවය පිළිබඳව පූර්ණ විශ්වාසයක්" ඇති බවත්, මෙම නඩුව "ඇගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්" ලෙස සලකන බවත්ය.

ශකීරා පවසා ඇත්තේ බලධාරීන් විසින් ඉල්ලා ඇති මුදල හා පොලියද ඇය විසින් මේ වන විටත් ගෙවා ඇති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top