වසර දෙදහස් විසිපහේදී, ප්රජාතන්ත්රවාදය සහ සංහිඳියාව ඔස්සේ සංවර්ධනය කරා යන ගමනේ පදනම් දැක්ම වන, `V 2025 පොහොසත් රටක්` කෘතිය එළිදැක්වූ උත්සවයේදී මෙම ``අහන්න`` ගීතය ද එළිදැක්විණි.
සැබෑ මිනිස් හදවත් සොයා රට වටා ගයන්නට සූදානම් !
අතිශය කලාත්මක මෙන්ම හැඟීම්බර, එහෙත් බුද්ධි ගෝචර ආයාචනයක් සහිත මෙම ගීතය, ගමින් ගමට හැදින් හදට අසන්නට සැලැස්වීම සඳහා රටවටා ගෙන යන වැඩපිළිවෙලක් ද මේ වනවිට සැකසෙමින් පවතින බව වාර්තා වෙයි.
සිය මෑත ඉතිහාසයෙන් තිස්වසරක් වර්ගවාදී යුද්ධයකට කැප කළ ශ්රී ලංකාව, එය නාමිකව අවසන් වූ වහාම පවා සැබෑ සාමය සොයා ගියේ නැත. යුද්ධයට කැප කළ කාලයෙන් හතරෙන් පංගුවක්, යුද්ධය ඇතිවන්නට හේතු වූයේ කුමන කරුණුදැයි නොසොයා නිකම් බලා සිටීම නුවණක්කාරකමක් නොවේ.
එහෙත්, ප්රමාද වී හෝ, සැබෑ සංහිඳියාව සඳහා මෙවැනි ප්රවේශයක් ගැනීම අගය කළ යුතු බවත්, ``අහන්න`` ගීතය එම ප්රවේශය සඳහා විශිෂ්ට ආරම්භයක් වනු ඇති බවත්, එය නරඹන ලද බොහෝ දෙනෙක් මෙම උත්සව සභාව අවසානයේ පැවසූහ.