ජන ගී ගායිකාවක් හා නර්තන ශිල්පිණියක් ලෙස භාරතය පුරා ජනප්රිය හර්ෂිතා දහියා ඝාතනය කර තිබුණේ පසුගිය අඟහරුවාදා දින හරියානා ප්රාන්තයේ පැවති ප්රසංගයකින් අනතුරුව නවදිල්ලි නුවර පිහිටි ඇගේ නිවස කරා යමින් සිටි අතරතුරේදීය.
අතරමගදී සන්නද්ධ පිරිසක් විසින් ඇය ගමන් ගත් මෝටර් රථයේ මග අහුරා ඇයට වෙඩිතබා තිබේ.
හිසට හා ගෙළ ප්රදේශයට සිදුවූ තුවාල වලින් ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ඇගේ සිරුරෙන් වෙඩි උණ්ඩ තුවාල 7කට වැඩි ප්රමාණයක් හමුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
පසුගියදා ඇය විසින් තමාට මරණීය තර්ජන එල්ල වන බවට සමාජ ජාල වෙබ් අඩවියකට වීඩියෝවක් එක්කරමින් පවසා තිබුණු අතර, තමා ඔවුන්ට බිය නොවන බැවින් හැකි දෙයක් කරන මෙන් එහිදී සඳහන් කර තිබුණි.
කෙසේවෙතත්, ඇය මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර නොමැත.
මේ අතර, හර්ෂිතා ගේ සොයුරිය වන ලතා පවසා ඇත්තේ මැරයෙකු වන දිනේෂ් නම් සිය සැමියා මෙම ඝාතනය පසුපස ඇති බවයි. දිනේෂ් මේ වන විට නවදිල්ලියේ තිහාර් බන්ධනාගාරයේ සිරගතව සිටියි.
දිනේෂ් විසින් තමාව දූෂණය කළ බවත් 2014දී හර්ෂිතා චෝදනා කර තිබුණු අතර, ඒ වසරේදීම ඔවුන්ගේ මව ඝාතනය කළ බවටද පසුව චෝදනා කර තිබුණි.
“මගේ සැමියා ඇයව මරා දැමුවේ ඇය අප මවගේ ඝාතනයේ සාක්ෂිකාරියක් නිසා,” යැයි ලතා වැඩිදුරටත් පවසා තිබුණි.
(Ndtv.com ඇසුරෙනි)