"මඟුල් ගෙදරකට සංගීතය සපයන්න ආරාධනාවක් ලැබුණා. අපිත් ඒක පිළිගත්තා. ඉතින් අපිව එක්ක යන්න වාහනයක් ගෙදරට එව්වා. අපි ගියා. බලද්දී අටවපු සවුන්ඩ් තමයි තියෙන්නේ... ඉතින් කොහොම හරි උත්සවය ඉවරවෙනකන් අපි සංගීතයක් දුන්නා... ඔන්න දැන් අපිට වැඩේ බාරදුන්න මනුස්සයා ළඟට ඇවිත්... “මල්ලී... නියමයි... මල්ලී... උඹට හොඳ අනාගතයක් තියෙනවා...” කියලා කිව්වා... එච්චරම තමයි ඌ මිසිං. අපිට සල්ලි දෙන්න කෙනෙක් නෑ. කට්ටියම බුෆේ එක තියන තැනට ගියා... කෑම නෑ... දන්න අපිට ගෙදර කවුරුවත්ම කතා කරන්නේත් නෑ. මනමාල ජෝඩුවත් ගේ ඇතුළට ගියා. ගෙදර ටික ටික ලයිට් ඕෆ් වෙනවා... එකපාරටම මුළු පළාතම කළුවරයි. කට්ටියම නිදි. හැබැයි සීදුව සකුරා කණ්ඩායම කළුවරේ ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා.
අපි ගිහින් සීනුව ගැහුවා. වයසක මනුස්සයෙක් ඇවිත් “මොකද ඕයි... නිදාගන්න දෙනවකෝ... කියලා කිව්වා...” අංකල් අපිට යන්න වාහනයක්” කියලා අපි කියද්දී ඔන්න තව මනුස්සයෙක් ඇවිත් අපෙන් විස්තරය ඇහුවා. බලද්දී මේ ගෙදර මාළු වෙළෙඳාම් කරන ගෙදරක්. ටිකකින් රිවස් එකේ ආපු මාළු ඩිෆ්රිසරයක් අපි ළඟම නැවැත්තුවා... “හා නගින්න... මේක තමයි තියෙන්නේ...” කීවා.
දැන් වාහනයට නැග්ගා. පිටිපස්සෙන් දොරවල් දෙක ලොක් කළා. මාළු ගදයි. ඉවසන්න බෑ. කුරුණෑගල ඉඳන් සීදුවට යනවා තියා හිතාගන්නවත් බෑ... සීදුවේ සකුරා කොල්ලෝ ටික ඩීෆ්රීසරය ඇතුළේ ටික දුරයි ගියේ ඉන්නම බෑ... කොහොම හරි වාහනේ නවත්තලා අපි කුරුණෑගලින් බැහැගත්තා.
ඔන්න දැන් සීදුව සකුරා සංගීත කණ්ඩායම ඉන්නේ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ. කට්ටියම සල්ලි දාලා පාන්දරම සව්කංජි මනුස්සයෙක්ගෙන් සව්කන්ජි අරගෙන බිව්වා. ඒක තමයි අපේ රාත්රි ආහාරය. ඔන්න බස් එක බස් හෝල්ට් එකට ගැහුවාම අපි කොන්දොස්තර ළඟට කිට්ටු කරලා අපිට වෙච්චි සිද්ධිය කියලා අපේ තිබුණු ඉතුරු මුදල දීලා තමයි එදා සීදුවට ආවේ.
ඒ සීදුව සකුරා සංගීත කණ්ඩායම ඩීෆ්රීසරයකින් ආපු හැටි.