Connect with us

ව්‍යාපාර

ඉන්ධන වලට උපරිම සිල්ලර මිලක්

Published

on

චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය.

සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත්, රටට ප්‍රතිලාභ අත්කරදෙමින් ඉන්ධන සැපයීමේ තරඟකාරීත්වයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේ දී සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඊට සාපේක්ෂව QR කේතය පිළිබඳ තීරණය ගැනීමට අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ වැඩිම ප්‍රශ්නවලට මුහුණ දුන් අමාත්‍යාංශයක් තමයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය.  එදා රට තුළ  ඉන්ධන පෝලිම් තිබුණා. අප ඉතා අසීරූ කාලයක් පසුකරගෙන ඉදිරියට පැමිණ තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට භාර ගැනීමෙන් පසුව ඉන්ධන ගැටලුව විසඳීමේ අභියෝගය කාංචන විජේසේකර ඇමතිතුමාට භාර දුන්නා. ඒ අවස්ථාවේ රට තුළ ඩොලර් තිබුණේ නැහැ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි වී සිටි ඉන්ධන සැපයුම්කරුවන් 28 දෙනා අතරින් දෙදෙනෙක් තමයි ලංකාවට ඉන්ධන ලබාදීමට ඉදිරිපත් වී තිබුණේ. එවැනි තත්ත්වයක් තමයි එදා රට තුළ තිබුණේ.‍

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය සමඟ රටේ ඩොලර් සංචිත සාමාන්‍ය තත්ත්වයට පත් වීමට පටන් ගත්තා. ඒ වගේම කාංචන විජේසේකර අමාත්‍යවරයාගේ කළමනාකරණ ප්‍රතිපත්තිය මත QR කේතය තුළින් රටේ තිබෙන ඩොලර් ප්‍රමාණයට අනුව පාරිභෝගික ජනතාවට ඉන්ධන ලබාදීමට හැකියාව ලැබුණා.

QR කේතය හඳුන්වා දී දින දෙක තුනක් ගත වන විට රට තුළ පැවති ඉන්ධන පෝලිම් අවසන් වුණා. මේ වන විට ක්‍රමානුකූලව QR කේතය තුළින් ඉන්ධන ලබාදීමේ කෝටාව වැඩි කරගෙන යමින් තිබෙනවා.

ස්ථීර තෙල් සැපයුමක් ලබා දීම, තරගකාරීත්වය වැඩි කර ගැනීම ඇතුළු ප්‍රධාන වගකීම් හතරක් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මට පැවරී තිබෙනවා. ස්ථීර තෙල් සැපයුමක් වෙනුවෙන් කෙටි කාලීන වැඩපිළිවෙළක් වෙනුවට වසරක කාලයක් සඳහා ඉන්ධන ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.  

වෙනදා ඉන්ධන  සඳහා ටෙන්ඩර් කැදවන විට අපේ පවතින ගබඩාවල ඉඩ ප්‍රමාණය අනුව තමයි ඉන්ධන ලබා ගත්තේ. ඒ වෙනුවට සිංගප්පූරු ක්‍රමය අධ්‍යයනය කිරීමට අප කටයුතු කළා.  සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට ලෝකයේ අඩුම මිල තිබෙන දිනවල ටෙන්ඩර් කැඳවීමටත්, ලංකාවට තෙල් ගෙන එන දිනය තීරණය කිරීමත් එම විශේෂ ක්‍රමය අනුව දැන් සිදු වෙනවා.

මීට පෙර ඉන්ධන ආරක්ෂිත සංචිත පවත්වාගෙන යෑමට කටයුතු කර තිබුණේ නැහැ. මේ වන විට පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන ලීටර් 30,000ක සංචිතයක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට පියවර ගෙන තිබෙනවා. එදිනෙදා වියදටම අවශ්‍ය ඩොලර් ප්‍රමාණයට අමතරව තවත් ඩොලර් මිලියන 60ක් අප කළමනාකරණය කරගෙන යනවා. ඉන්ධන ගොඩබෑමේ දිනය පිළිබඳව මෙරටට එන ඉන්ධන නෞකාවලට එදා විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ හැම වියදමක්ම රජයට දැරීමට සිදුවුණා.

විශේෂයෙන්ම වෙනත් රටවල පවතින ක්‍රමවේද අධ්‍යයනය කර සැපයුම්කරුවන් සමඟ අප සාකච්ඡා කළා. ලෝකයේ පවතින ක්‍රම අධ්‍යයනය කර මෙරටට නව ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ඒ අනුව කිසිම අත්තිකාරම් මුදලක් අප තවදුරටත් ඉන්ධන සමාගම්වලට ගෙවන්නේ නැහැ. ලංකාවට පැමිණෙන තෙල් නෞකා අපේ ගබඩාවල සම්පූර්ණයෙන්ම ගබඩා කළ යුතුයි. ඉන් අනතුරුව තමයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින ඩොලර්වලින් සතියකට අවශ්‍ය මිලදී ගැනීම් සිදු කරනු ලබන්නේ.

මෙහි වාසි කිහිපයක් තිබෙනවා. අවදානම් ගාස්තු සම්පූර්ණයෙන් ඉවත් වුණා. ප්‍රමාද ගාස්තු ගෙවීමටත් අවශ්‍ය නැහැ. ආසන්න වශයෙන් පසුගිය වසරේ ඩොලර් 12.19 ක්ව තිබූ ඔටෝ ඩීසල් ප්‍රිමියම් එක නව ක්‍රමවේදය සමඟ ඩොලර් 5.78කට අරගෙන ඒමට හැකියාව ලැබුණා. සාමාන්‍යයෙන් එක නෞකාවකින් පමණක් ඩොලර් මිලියන 3.5ක් ලෙස මේ වසරේ මුල් මාස හයේ පමණක් ඩොලර් මිලියන 63ක අඩු කර ගැනීමට පුළුවන්කම ලැබුණා.

පෙට්‍රල්වලිනුත් ඩොලර් 10.8ක් පැවති ප්‍රිමියර් ඒක ඩොලර් 7 දක්වා අඩු කරගෙන, එක නෞකාවකින් පමණක් ඩොලර් මිලියන 3.3ක මිල අඩු කර ගැනීමට හැකියාව ලැබුණා.  මේ අනුව පෙට්‍රල් 92වලින් ඩොලර් මිලියන 59.3ක්, සුපර් ඩීසල්වලින් ඩොලර් මිලියන 2.3ක්, පෙට්‍රල් 95වලින් ඩොලර් මිලියන 2ක් සහ ගුවන් යානා ඉන්ධනවලින් ඩොලර් මිලියන 22ක් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 149ක් ඉතිරි කර ගැනීමට පුළුවන්කම ලැබුණා. වසරකට ඩොලර් මිලියන 300ක් ඉතිරි කර ගැනීමේ හැකියාව මෙම නව ක්‍රමවේදය තුළින් ලැබෙනවා.

අපි හැමදාම කළේ ප්‍රමාද ගාස්තු ගෙවන ඒක පමණයි. නමුත් දැන් පළමු වතාවට මේ වසරේ මුල් මාස 6 තුළ පමණක් ඉන්ධන සමාගම්වලින් ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් මිලියන 13ක් අපට ලැබීමට තිබෙනවා. එහි පළමු වාරිකය වශයෙන් ඩොලර් මිලියන 3ක් ලබන 18 වැනිදාට පෙර අය කර ගැනීමට කටයුතු කරගෙන යමින් සිටිනවා. ඉතිරි ඩොලර් මිලියන 10ක මුදල සම්පූර්ණයෙන්ම සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට කටයුතු කරනවා.

ඉන්ධන තරගකාරීත්වය ඇති කිරීමට ලියාපදිංචි වී සිටින සමාගම්වලින් බැහැරට ගිහින් ජාත්‍යන්තරයේ ලියාපදිංචි ප්‍රධාන සමාගම් තුනක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙමඟින් තරගකාරීත්වයක් මෙන්ම පවතින ඩොලර් ගැටලුවට ද හොඳ විසඳුමක් ලැබෙනවා. ඒ වගේම වසරක් ඇතුළත‌ පිටරටට ඇදී යන ‌ෙඩාලර් බිලියන 1.5ක් වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

ලබන මාසේ මුල් සතිය වන විට සයිනොපෙක් සමාගමේ නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතයි. සාමාන්‍යයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් පිටතට ගිය ඩොලර් ප්‍රමාණයෙන් 20%ක් පළමු මාසය තුළ අඩු කර ගැනීමට හැකියාව ලැබෙයි කියා විශ්වාස කරනවා. මාසිකව එය 45%ක් දක්වා අඩු කර ගැනීමට හැකියාව ඇතැයි අපේක්ෂා කරනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයත්, මහ බැංකුවත්, ජනාධිපතිතුමාත්, අමාත්‍යවරයාත් සමඟ සාකච්ඡා කර ඊට සාපේක්ෂව QR කේතය ඉවත් කරනවා ද එසේ නොමැති නම් කෝටාව වැඩි කිරීමක් සිදු කරනවාද කියා තීරණය කරනවා.
 

මෙතෙක්  ඉන්ධන මිල සූත්‍රය පැවතුණේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණයි. ඒ වෙනුවට මෙම නව ක්‍රමය තුළින් සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගනු ලබනවා. මේ අනුව අමාත්‍යාංශය මගින් ඉදිරියේදී උපරිම සිල්ලර මිල පමණයි තීරණය කරන්නේ. පසුව තමන් කැමති මිලකට උපරිම මිලට යටත්ව ඉන්ධන ලබාදීමට සමාගම්වලට හැකියාව ලැබෙනවා. මේ තුළින් තරඟකාරීත්වයක් ඇති වෙනවා. එක සමාගමක් මිල අඩු කරන විට, ඊට සාපේක්ෂව අනික් සමාගම් ද මිල අඩු කිරීම තුළින් රටට විශාල ප්‍රතිලාභයක් අත්කර දීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.  

(ජනාධිපති මාධ්‍ය අංශය)

ව්‍යාපාර

‘SIAL Canada 2025’ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්

Published

on

By

පසුගිය දා කැනඩාවේ ටොරොන්ටෝහි පැවති SIAL Canada 2025 වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ටොරොන්ටෝහි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති මේ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකේය ආහාර පාන අපනයන සමාගම් 15කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී තිබෙන බවය.

අප්‍රේල් 29 සිට මැයි 1 දක්වා ටොරොන්ටෝ හි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

SIAL කැනඩා යනු කැනඩාවේ ආහාර පාන අංශයේ ප්‍රධාන වාර්ෂික වෙළෙඳ ප්‍රදර්ශනවලින් එකක් වන අතර,රටවල් 44කින් ප්‍රදර්ශකයන් සහ වෙළෙඳ නාම 1,000කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනී. රටවල් 77කින් වෘත්තිකයන් 21,000කට වැඩි පිරිසක් සහභාගි වන අතර සියලු කැනේඩියානු පළාත් නියෝජනය වේ.

ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට එක්ව තිබෙන අතර,කැනේඩියානු වෙළෙඳපොළේ ප්‍රධාන සැපයුම්දාම සහ ප්‍රමුඛපෙළේ සිල්ලර ව්‍යාපාරික ආයතන සමඟ ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය පුළුල් කිරීමට දරන උත්සාහයන්ට සහාය දක්වන ශ්‍රී ලාංකික සමාගම්වල නියෝජිතයන් ද හමු වී තිබේ.

Continue Reading

ව්‍යාපාර

ඉහළ ගිය පොල් මිල

Published

on

By

පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතායන්ට පත්ව තිබේ.

මේ දිනවල වෙළඳපොළේ තරමක විශාල පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කරයි.

කුඩා පොල් ගෙඩියක්  අලෙවි වන්නේ රුපියල් 175 ත් 190 ත් අතර මිලකට බව වෙළෙන්දෝ පවසති.

Continue Reading

ව්‍යාපාර

නොවෙනස්  “ලාෆ්”

Published

on

By

මැයි මාසය සඳහා ලාෆ්ස් ගෑස් ගෘහස්ථ සිලින්ඩර නැවත පිරවීමේ මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පියරීස් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රු. 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 1,645ක් ලෙස පවතී. 

අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදු වූයේ අප්‍රේල් මාසයේදීය.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ අප්‍රේල් මාසයේ වන අතර ඊට අදාළව පවතින මිල ගණන් එලෙසින්ම පවතිනු ඇති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved