ශ්‍රී ලංකාවේ ඉස්සන් අපනයන කර්මාන්තය මුහුණ දුන් අභියෝග රැසකට විසඳුම් ලබා දෙමින්, ඉස්සන් ප්‍රතිඅපනයනය සඳහා නව සහ විස්තීර්ණ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedure – SOP) ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇත.
දේශීය ආර්ථිකයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන ඉස්සන් අපනයන අංශය තවදුරටත් ශක්තිමත් කිරීම මේ වැඩපිළිවෙළේ අරමුණු වේ.
එමෙන්ම මේ නව සම්මත මෙහෙයුම් පටිපාටිය තුළින් ක්ෂේත්‍රයේ පැවති සියලු අන්‍යෝන්‍ය බිය සහ ගැටලු නිරාකරණය කර, ශ්‍රී ලංකාවේ ඉස්සන් කර්මාන්තයට තිරසර සහ දීප්තිමත් අනාගතයක් උදාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ධීවර සම්පත් කළමනාකරණ) ධම්මික රණතුංග මහතා අවධාරණය කරයි.
නව සම්මත මෙහෙයුම් පටිපාටියට අනුව ආනයන සීමා පනවමින් ප්‍රතිඅපනයනය සඳහා ආනයනය කළ හැක්කේ අධිශීත කළ හිස රහිත ඉස්සන් පමණක් බව සඳහන්ය.
වාණිජ දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබාගෙන, වෙළෙඳාමට ගැටලු හෝ සීමාසහිත රටවලින් ඉස්සන් ආනයනය කිරීම මෙමඟින් වළක්වන අතර ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් ඉස්සන් ගොවිපොළ දත්ත සහ ඉදිරි මාස තුනක නිෂ්පාදන තොරතුරු ඇගයීමෙන් පසුව පමණක් ආනයන නිර්දේශ ලබා දෙයි.
රෝග බෝවීමේ අවදානම අවම කිරීම පිණිස ඉස්සන් ගෙන්වන රටෙන් අදාළ බලධාරීන්ගේ සෞඛ්‍ය හා ප්‍රතිජීවක සහතික අනිවාර්ය වේ. එමෙන්ම ආනයනය කරන ලද ඉස්සන් තොගයෙන් අවම වශයෙන් 25%ක අගය එකතු කිරීමක් ශ්‍රී ලංකාවේ සිදු විය යුතු අතර, එමඟින් දේශීය රැකියා අවස්ථා සහ වටිනාකම ඉහළ යනු ඇත.
ප්‍රති අපනයනය කරන ඉස්සන් “වෙනත් රටක නිපදවන ලද හා ශ්‍රී ලංකාවේ සකසන ලද ඉස්සන්” (Other Origin Shrimp, Processed in Sri Lanka) ලෙස පැහැදිලිව සඳහන් කළ යුතු අතර, ඒවා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කළ නොහැකිය. එමෙන්ම සැකසුම් ක්‍රියාවලියේදී දේශීය ඉස්සන් සමඟ විදේශීය ඉස්සන් මිශ්‍ර කිරීම සම්පූර්ණයෙන් තහනම් වේ.
ගබඩාකරණ සහ ප්‍රති සැකසුම් ස්ථාන දේශීය ඉස්සන් ගොවිපළ ආශ්‍රිතව පිහිටුවිය නොහැකි අතර අපජලය සහ අපද්‍රව්‍ය මුදාහැරීමේදී මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ අනුව කටයුතු කළ යුතුය.
ආනයනය කරන ලද ඉස්සන් ප්‍රමාණයෙන් 75%ක් අනිවාර්යයෙන්ම නැවත ප්‍රතිඅපනයනය කළ යුතු අතර මේ කොන්දේසිය සපුරන සමාගම්වලට පමණක් ඉදිරියේදී නැවත ආනයන අවසර ලබා දීම නව පටිපාටිය අනුව සිදු කෙරේ.
විදේශ වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ ඉස්සන් සඳහා විශාල ඉල්ලුමක් පැවතුණ ද, මෑතකදී දේශීය පරිභෝජනය ඉහළ යෑම (විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයේ දියුණුවත් සමඟ) සහ දේශීය නිෂ්පාදනයේ යම් අඩුවීමක් වාර්තා විය. මේ තත්ත්වය හමුවේ අපනයන ඉල්ලුම පවත්වා ගැනීම සඳහා පසුගිය වසර කිහිපය තුළ විදේශීය ඉස්සන් ආනයනය කර, අගය එකතු කර නැවත ප්‍රතිඅපනයනය කිරීමට රජය විසින් අවසර ලබා දී තිබිණි.
කෙසේ වෙතත් මේ ක්‍රියාවලිය දේශීය ඉස්සන් වගාකරුවන් අතර විවිධ ගැටලු සහ බිය ඇති කළේය. විදේශීය ඉස්සන් දේශීය වෙළඳපොළට එකතු වුවහොත් තම ඉල්ලුමට බලපෑම් එල්ල වේය යන බිය මෙන්ම, රෝග බෝවීමේ අවදානම සහ සමහර රටවල පවතින අපනයන සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳාමට ගැටලු ඇතිවිය හැකි බවට ද ඔවුන් අදහස් පළ කළහ. තවද, විදේශීයව ගෙන්වන ලද ඉස්සන් “ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්” ලෙස පිටරට යැවීම සුදුසු නොවන බවට ද අදහසක් විය.
මේ සියලු කරුණු සලකා බලා, අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත් කර, අදාළ රාජ්‍ය ආයතන (ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නාරා ආයතනය, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව) මෙන්ම ජලජීවී වගා සන්ධානයේ සාමාජිකයන් සහ අපනයනකරුවන් ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් මේ නව සම්මත මෙහෙයුම් පටිපාටිය සකස් කළ බව ද ධම්මික රණතුංග මහතා කියයි.