Connect with us

පුවත්

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට GP සහතිකකරන ක්‍රමවේදය හඳුන්වාදේ

Published

on

ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයට මහඟු  පිටුවහලක් ලබාදෙන නව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ සහතික කිරීමේ ක්‍රමවේදයක් – GP Certified නමින්  පසුගියදා කොළඹදී හඳුන්වාදෙනු ලැබීය.

මෙම ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ Island Climate Initiative (ICI) ආයතනය විසිනි.

GP Certified යනු ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතින් අනූව ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වමින් මෙරටට මුල් වරට හදුන්වා දෙන උසස් තත්ත්ව සහතිකයකි.  එහිදී ICI නිලධාරීන් පැවසුවේ, “ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ජාත්‍යන්තරව පිළිගත් නිර්නායක අනූව ක්‍රියාත්මක කිරීමට මෙය උපකාරී වේ,”යන්නයි.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේ අභියෝගය

වසරකට ටොන් ගණනින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පරිසරයට මුදාහැරෙයි. එයින් ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ සියයට 4%  පමණි. ඉතිරි 96% බොහෝවිට දහනය කිරීම, කසල ලෙස බැහැර කිරීම හෝ ජල මාර්ගවලට මුදා හැරීම හේතුවෙන්  විශාල ලෙස පරිසරික හා සාගර /ජල  දූෂණයට මඟ පාදයි.

GP Certified ක්‍රමවේදය මෙම ගැටළුවට විසඳුමක් වශයෙන් හඳුන්වාදී ඇති අතර, එය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය නවීකරණය කරමින් ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින FMCG (Fast-Moving Consumer Goods) වෙළඳපලට නව මඟක් සපයයි.

ඒ අනුව  ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහතික කරමින්, ප්ලාස්ටික් භාවිතය සඳහා වගකීමක් සහිත ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට මෙය උපකාරී වේ.

GP Certified සහතිකය සහ එහි වැදගත්කම

GP Certified සහතිකය හිමිවූ ප්ලාස්ටික් නැවත භාවිතයට ගතහැකි, ආරක්ෂිත සහ පාරිසරික වගකීමක් සහිත බව සනාථ කරයි. මෙය FMCG සමාගම්වලට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය ආරක්ෂිතව භාවිතා කිරීමට සහාය වීම අරමුණු කරයි.

GP Certified සහතිකය ලබාදෙන ප්‍රමුඛතම කරුණු:
• ආරක්ෂාව – ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය  සෞඛ්‍යාරක්ෂිතව හා  සනීපාරක්ෂක තත්ත්ව වලට අනුකූලව සිදු වීම.
• ගුණාත්මකභාවය – ප්ලාස්ටික් ඇසුරුම් නිෂ්පාදන සඳහා උසස් තත්ත්වය සහතික කිරීම.
• තිරසාරත්වය –සමාජ වගකීමක් සහිත සැපයුම් දාම සහ අපද්‍රව්‍ය කළමණාකරණ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම

Island Climate Initiative හි කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ පවසන්නේ “GP Certified සහතිකය ලද විට, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වාසිදායක සම්පතක් බවට පත්වන අතර, දේශීය ව්‍යාපාර ශක්තිමත් කරමින්, විදේශ විනිමය ඉතිරි කිරීමට සහ ශ්‍රී ලංකාවේ පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කිරීමට මෙය මහත්  උපකාරයක් වන බවයි.”

මේ අතර, Ecopoly (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ චුල්ලක හපුආරච්චි පැවසුවේ “GP Certified වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය සුවිශාල පෙරළියකට ලක් කරන නව අදියරකි. මෙය අපගේ නිෂ්පාදන ආරක්ෂාව හා ගුණාත්මකභාවය තහවුරු කරමින්, පාරිභෝගික විශ්වාසය වර්ධනය කරනු ඇති බවයි.”

GP Certified වැඩසටහන සහ දේශීය සහයෝගිතාව

මෙම වැඩසටහනට PLEASE ව්‍යාපෘතිය මඟින් මූල්‍ය සහය ලබාදෙන අතර, එය ලෝක බැංකුව සහ UNOPS ආයතනවල සහය යටතේ, දකුණු ආසියානු සහකාර පාරිසරික වැඩසටහන (SACEP) මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

කොළඹදී පැවැති මෙම එළිදැක්වීමේ උත්සවයේදී FMCG වෙළඳ නාම ප්‍රවර්ධකයින්, ප්‍රතිචක්‍රීකරණකරුවන්, ප්‍රතිපත්ති සැලසුම්කරුවන් සහ පාරිසරික නියෝජිතයන් එක්වී ශ්‍රී ලංකාවේ තිරසාර ඇසුරුම්කරණයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කළහ.

GP Certified වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය නව මානයකට ගෙනයාමට සහාය වන අතර, තිරසාර චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට මෙය වැදගත් වේ.

පුවත්

පුද්ගලයින් 4කට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක්

Published

on

By

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ සම කැඳවුම්කරු ඇතුළු පිරිසකට අද (27) කොළඹ රෝහල් චතුරස්‍රය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුල් වීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.

එසේ නියෝග නිකුත් කර ඇත්තේ සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරි එකමුතුවේ සම කැඳවුම්කරු එම්.එන්.එම් නුස්ට්‍රි එම එකමුතුවේ ලේකම් නදුන් දශරික හේවාපතිරණ,අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති එකාබද්ද බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් යන අයට එරෙහිවය.

ඒ අනුව අද උදෑසන 8 සිට පස්වරු 4 දක්වා මරදාන පොලිස් වසමේ රෝහල් චතුරස්‍රයට ඇතුළු වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන අයුරින් ඩීන්ස් පාර, ද සේරම් පාර, කිංසි පාර සහ රීජන්ට් වීදීයේ පදික වේදිකා අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ පෙළපාලි තහනම් කර තිබේ.

එමෙන්ම සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය පවත්වනු ලබන විභාග මධ්‍යස්ථාන වන ප්‍රාථමික හෙද විදුහල සහ කොළඹ හෙද විදුහල යන ස්ථාන ඉදිරිපිට රැඳී සිටීම ද තහනම් කරමින් මෙම ආඥ්‍රාව නිකුත් කර ඇති බව සඳහන්ය.

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය අද (27) පැවැත්වීමට නියමිත අතර මෙම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට ඊට සහභාගී නොවන ලෙසට බලපෑම් කිරීම සඳහා විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කිරීමට යන බවට මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරක් මත මෙම උසාවි නියෝගය ලබාගෙන තිබේ.

ඒ අනුව අද උදෑසන 10ට මධ්‍යස්ථාන 4කදී මෙම විභාගය පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ විභාග ශාඛාව මගින් මෙම විභාගය පවත්වනු ලබන අතර පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල, කොළඹ හෙද විදුහල, කදාන හෙද විදුහල සහ කාසල් වීදීයේ කාන්තා රෝහල යන ස්ථානවල පිහිටි විභාග මධ්‍යස්ථානවලදී මෙම විභාගය පැවැත්වීමට නියමිතය.

සියලු අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

වෛද්‍ය රසායනාගාර, කාර්මික විද්‍යාඥ හා භෞතික චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම පිණිස මෙම විභාගය පැවැත්වෙයි.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

පුවත්

ඩොලරයත් එක්ක විදෙස් ණයත් නගලා

Published

on

By

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය දිගින් දිගටම ඉහළ යමින් රුපියල බාල්දු වීම නිසා ආනයනික භාණ්ඩ මිල ඉහළ යාම සහ විදේශ ණය වර්ධනය වීමේ ප්‍රවණතාවක් හටගෙන ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

2025 ජනවාරි 1 වැනිදා වන විට ඩොලරයක ගැනුම් මිල වශයෙන් සටහන් වූයේ රුපියල් 289/- කි. 

එදින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 297/- කි. එහෙත් ඉන් මාස හතරක් ඇවෑමෙන් මෙම මස 23 වැනිදා වන විට ඩොලරයක ගැනුම් මිල රුපියල් 295/- ක් බවට පත් විය. 

එදින විකුණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 304/- කි. මාස හතරක් තුළ රුපියල් පහකින් පමණ රුපියල අවප්‍රමාණය වී තිබේ.

මෙහි අහිතකර බලපෑම වැඩිපුර එල්ල වන්නේ අපේ විදේශීය ණය කෙරෙහිය. 

රුපියල බාල්දු වීමත් සමඟ ඊට සාපේක්ෂව විදේශීය ණය ප්‍රමාණය ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් පීඩාවට පත් කරයි. 

එසේම රත්රන් ඇතුළු බොහෝ වටිනා ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ නගියි.

වාර්තා වන ආකාරයට දැනට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 35 ක් පමණය. 

දැනට සිදුවන අවප්‍රමාණයේ හැටියට ඩොලරය රුපියලකින් අවප්‍රමාණය වන විට විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 35කින් ඉහළ නගින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි බදු ප්‍රතිපත්තිය ලිහිල්නො කළහොත් මෙම තත්ත්වය තවත් බරපතළ වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved