මුහුදේ මසුන් බහුල වශයෙන් ගැවසෙන ස්ථාන කෙටි පණිවුඩයකින් ධීවරයාගේ ජංගම දුරකතනයට ලබාදීමේ වැඩපිළිවෙළක් නාරා ආයතනය සහ ඩයලොග් ආයතනය එක්ව ක්‍රියාත්මක කර ඇත.
මේ සඳහා වූ ගිවිසුමට නාරා ආයතනය වෙනුවෙන් එහි සභාපති නිමල් හෙට්ටිආරච්චි සහ ඩයලොග් ආසියාටා සමාගමේ අධ්‍යක්ෂ සුපුන් වීරසිංහ මහත්වරු විසින් පසුගියදා අත්සන් තබන ලදි.
2020 වසරේ සිට ධීවර ප්‍රජාව වෙනුවෙන් භාවිත කෙරෙන ත්‍රෛභාෂා ධීවර යෙදුමක් වන සයුරු ජංගම දුරකතන යෙදුමෙන් මේ කෙටි පණිවුඩය ලබාදීම සිදු කෙරේ.
නාරා ආයතනය චන්ද්‍රිකා තාක්ෂණයෙන් එදිනෙදා ගන්නා සාගරයේ බහුල වශයෙන් මසුන් ගැවසෙන ස්ථාන පිළිබඳ තොරතුරු කෙටි පණිවුඩයකින් ජංගම දුරකතනයට දෙන අතර, එමඟින් ධීවර කාර්මිකයන්ට පහසුවෙන් මත්ස්‍ය බිම් සොයා ගැනීමට හැකියාව ඇත. එතුළින් ඉන්ධන පිරිවැය ද අඩුකර ගැනීමට ද හැකියාව ලැබේ.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනය හෙවත් නාරා ආයතනයෙන් 2008 සිට චන්ද්‍රිකා සාගර විද්‍යා දත්ත විශ්ලේෂණයෙන් බහුදින ධීවර යාත්‍රා සඳහා මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ පුරෝකථන සිතියම් නොමිලේ දීම සිදු කරයි.
මේ සේවා මඟින් සතියට දින තුනක් මසුන් ගැවසෙන ස්ථාන සහිත සිතියම් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවෙන් නිකුත් කරන ගැඹුරු මුහුදේ කාලගුණ තොරතුරු යාත්‍රා හිමියන්ට ලබා දෙයි.
මේ පුරෝකථනය මඟින් කහවරල් කෙළවල්ලා, ඇස්ගෙඩි කෙළවල්ලා සහ බලයා යන මත්ස්‍යයන් පිළිබඳ තොරතුරු ලබා දෙයි.
මේ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් කේ. අරුනාලන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. එම්. එල්. අමරලාල් සහ ඩයලොග් ආසියාටා සමාගමේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.