2023 ලෝක සංචාරක රූ රැජින තරඟාවලිය මෙවර ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පවත්වන මෙම තරඟාවලිය ජූලි 20දා සිට ජූලි 30දා දක්වා මීගමුව, මහනුවර, නූවරඑළිය, ඇල්ල, යාල, වැලිගම සහ කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණි.
මෙම තරගාවලියට රටවල් 40ක් සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මෙම තරගකාරියන් හරහා ලංකාවේ සුන්දරත්වය පිළිබඳව ඔවුන්ගේ මව් භාෂාවලින් ලොව පුරා ප්‍රවර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එහිදී සංවිධායකයන් පැවසීය.
මෙම තරගාවලියට පැමිණෙන තරගකාරියන් පැමිණෙන්නේ ඔවුන්ගේ වියදමෙන් බවත්, ශ්‍රී ලංකාව ලබාදෙන්නේ සත්කාරකත්වය පමණක් බවත්, මෙහි ජයග්‍රාහිකාවට මුදල් ත්‍යාගයක් ලබානොදෙන බවත්, මෙහිදී ප්‍රකාශ විය.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසා සිටියේ ලංකාව යනු සංචාරක පුරවරයක් බවත්, 2022 අවසන් වන විට ලංකාවට පැමිණ සිටි ලක්ෂ 08ක් සංචාරකයන් හරහා ඩොලර් මිලියන 800ක ආදායමක් ලද බවත්ය.
2018 වන විට සංචාරකයන් මිලියන 1.9ක් මෙරටට පැමිණ සිටි බවත්, එමගින් ඩොලර් බිලියන 7.7ක ආදායමක් ලැබූ බවත් ඇය පැවසීය. එබැවින් ලබන වසරේදීවත් සංචාරක ව්‍යාපාරය හරහා ඩොලර් බිලියන 5 – 6ක් වත් ලබාගැනීමට අවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය.
අවම වශයෙන් වසරකට සංචාරකයන් අවුරුද්දකට මිලියන 02කට වැඩි පිරිසක් ගෙන්වාගැනීමට උත්සහ කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.