Pasidol
Sathosa Ad Final Sinhala
Mar 06, 2018

ගුරු දැනුම වඩන්න බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් අලුත් වැඩක්

බ්‍රිතාන්‍ය කවුන්සිලය මෙරට ඉංග්‍රීසි ගුරුවරුන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් දියත් කරයි

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රමිතිය නංවාලීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් දියත් කිරීමට තමන් කටයුතු යොදා ඇති බව, මෙරට බ්‍රිතාන්‍ය කවුන්සිලය ඊයේ (05) නිවේදනය කර තිබුණි.

උසස් අධ්‍යාපනය සහ පෞද්ගලික අංශයේ රැකියා වලදී වැඩි වශයෙන්ම භාවිතා වන මාධ්‍යය වන ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීම සඳහා සිසු සිසුවියන්ට ඇති අවස්ථා පුළුල් කරමින්, එම අධ්‍යාපනයේ තත්ත්වය වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වේ.

The Teacher Education for English Project (TEE) ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘතිය, ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය සංවර්ධන හා කුසලතා වර්ධනය ඉලක්ක කරගෙන බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති Teacher Education in Sri Lanka Project ව්‍යාපෘතියට අමතරව ක්‍රියාත්මක වනු ඇත. මෙම ව්‍යාපෘති දෙකම බ්‍රිතාන්‍ය කවුන්සිලයේ TRANSFORM ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වේ. 2019 වසරේ අප්‍රේල් මාසය දක්වා මාස 14 ක කාලයක් ක්‍රියාත්මක වන TEE ව්‍යාපෘතිය යටතේ මෙරට ඉංග්‍රීසි භාෂා ගුරුවරුන් සහ පුහුණුවන ගුරුවරුන් විශාල පිරිසක් ආවරණය වනු ඇත. ව්‍යාපෘතියේ ප්‍රථම අදියරේදී මහනුවර, කළුතර සහ යාපනය ප්‍රදේශවල පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වල පුහුණුව ලබන ගුරුවරුන් 1,000 කට ආසන්න පිරිසකට පුහුණුව ලබාදීමට නියමිත ය.

මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුහුණුකරුවන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය ජනවාරි මාසයේදී දිවයිනට පැමිණියහ. කොළඹදී ව්‍යාපෘතිය පිළිබඳව මූලික කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 4 ක් වෙත යොමුකරවන ලද අතර පෙබරවාරි මස දෙවැනි සතියේදී ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ විය. මෙම විද්‍යාපීඨ වල සාමාන්‍ය විෂය මාලාවන්ට අමතරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පුහුණුකරුවෝ කටයුතු කරති.

ව්‍යාපෘතිය තුළදී සමස්තයක් ලෙස පැය 120 ක කාලයක් ඉංග්‍රීසි භාෂාව සහ එම භාෂාව ඉගැන්වීම සම්බන්ධ ක්‍රමවේදයන් ආවරණය කිරීමට නියමිත වේ. මෙහිදී මෙම ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා මට්ටම A2 සිට B1 දක්වා වැඩිදියුණු කරමින්, ඔවුන්ගේ ප්‍රායෝගික ඉගැන්වුම් කුසලතා වර්ධනය කර ඔවුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා විධිමත් පදනමක් සකස් කරදීම සිදුවනු ඇත.

සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන රිකී මෙන්ඩිස් මහතා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ TEE ව්‍යාපෘතිය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වයි. මේ පිළිබඳව අදහස් දක්වමින් මෙන්ඩිස් මහතා මෙසේ පැවසී ය. “පෞද්ගලික අංශය තම ව්‍යාපාර කටයුතු වලදී ජාත්‍යන්තරය සමග නිරන්තරයෙන් සම්බන්ධ වනවා. එම නිසා එම අංශය තුළ රැකියාව කිරීමේදී ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ පුළුල් දැනුමක් තිබීම ඉතාමත් වැදගත්. මෙම පසුබිම යටතේ රටේ අනාගත පරපුරේ ඉංග්‍රීසි දැනුම පුළුල් කිරීම සඳහා දායක වීම වැදගත් යයි කියා මා සිතුවා. මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුම ආයතනය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයයි. එම නිසා TEE ව්‍යාපෘතියට පූර්ණ අනුග්‍රහය දැක්වීමට මා තීරණය කළා. මෙම ව්‍යාපෘතිය ඔස්සේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්නා ගුරුවරුන් එම දැනුම ඊළඟ පරපුරටත් නොඅඩුව බෙදාදේවි කියා මා විශ්වාස කරනවා.”
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යක්ෂිකා ජිල් කැල්ඩිකොට් මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් පළකළේ මෙසේ ය. “ඉංග්‍රීසි භාෂා ඥානය යනු 21 වන සියවස තුළ වඩාත්ම වැදගත් වන කුසලතාව වන බවට කිසිදු සැකයක් නැහැ. ගෝලීය ආර්ථිකයට සම්බන්ධ වීමට අදහස් කරන සෑම රටකටම තමන්ගේ ජාතික භාෂාවන්හි මෙන්ම ඉංග්‍රීසි භාෂාවේත් ප්‍රවීණත්වය සහිත පිරිසක් සිටීම අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාවේ රජය මෙය හොඳින් වටහාගෙන ඇති අතර, රජයේ ඉලක්ක හා අරමුණු වලට සමගාමීව ඉදිරියට යමින් රටේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලය තම දායකත්වය ලබාදෙමින් සිටිනවා. මෙම උත්සාහයේ වැදගත්කම හඳුනාගෙන ඒ සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන රිකී මෙන්ඩිස් මහතා වැනි අයට අපගේ කෘතඥතාව හිමිවිය යුතුයි. එම දායකත්වය නිසා අපට දැනට පුහුණුව ලබමින් සිටින ඉංග්‍රීසි ගුරුවරුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මේ සඳහා අප භාවිතා කරන ප්‍රවේශය මූලික අංශ දෙකකින් සමන්විතයි. මේ යටතේ අප රටේ අධ්‍යාපන පද්ධතිය තුළ දීර්ඝකාලීන පරිවර්තනයන් සිදුකරන අතර වර්තමානයේ සහ අනාගතයේ ගුරුවරුන්ගේ කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජනයන් සිදුකරනවා. රිකී මෙන්ඩිස් මහතාගේ ආදර්ශය අනුව යමින් තවත් පිරිස් මෙම උත්සාහයට දායකත්වය ලබාදෙන්නේ නම් එය අපගේ ඉලක්ක සාක්ෂාත් කරගැනීමට මනා පිටිවහලක් වේවි.”

TEE 2

TEE 3

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top