Pasidol

Sathosa

Apr 25, 2018

IELTS සඳහා සූදානම් වෙන්න අළුත් ක්‍රමයක්

IELTS සඳහා අන්තර්ජාලය ඔස්සේ සූදානම් වීමේ ක්‍රමයක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ ClarityEnglish පසුගියදා කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ මුල් වරට, බ්‍රිතාන්‍ය කවුසිලයේ IELTS  ලියාපදිංචි මධ්‍යස්ථාන ජාලය හරහා මෙම ක්‍රමවේදය දියත් කරන ලදී. .

’Road to IELTS’ ලෙස නම්කර ඇති මෙම වැඩසටහන පරිගණක, ටැබ්ලට් උපාංග සහ ජංගම දුරකථන යනාදිය ඔස්සේ පරිශීලනය කළ හැකි අතර එය IELTS විභාගය හොඳින් සමත්වීම සඳහා බෙහෙවින් උපකාරී වනු ඇත.

IELTS හෙවත් International English Language Testing System යනු ලොව ජනප්‍රියතම ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පරීක්ෂණයයි. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වන්නන් සහ විදේශ සංක්‍රමණිකයන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් සම්බන්ධ නිර්ණායකයක් ලෙස භාවිතා වන මෙම පරීක්ෂණයට පසුගිය වසරේ පමණක් මිලියන 3 කට අධික පිරිසක් පෙනී සිටියහ. ලොව සමාගම්, ආයතන හා සංවිධාන 10,000 කට අධික සංඛ්‍යාවක් මෙම පරීක්ෂණය, ඉංග්‍රීසි භාෂා පරිචය සම්බන්ධ විශ්වාසනීය සුදුසුකමක් ලෙස පිළිගනියි.IELTS හි සම හිමිකාරීත්වය දරනුයේ British Council, IDP IELTS Australia හා Cambridge Assessment English යන ආයතනයි.

IELTS පරීක්ෂණයට පෙනී සිටින්නන් සාමාන්‍යයෙන් මුහුණ දෙන අභියෝග ජයගැනීමට උපකාරී වන පුහුණු මෙවලමක් ලෙස ’Road to IELTS’ නිර්මාණය කර තිබේ. කුසලතා අංශ 4 ට අදාළ උප කොටස් 4 කින් සමන්විත එය ආරම්භ වනුයේ සෑම ප්‍රශ්න පත්‍රයක්ම හඳුන්වා දෙමින්, එහිදී කළ යුතු ක්‍රියාකාරකම් වල ස්වභාවය විස්තර කරන විද්‍යුත් ග්‍රන්ථයකිනි (ebook). මීට අමතරව මෙහි විශේෂඥයන් විසින් පිළියෙල කරන ලද උපදේශ හා ඉගැන්වුම් වීඩියෝ සහ පුහුණු කලාපයක් මෙන්ම ආදර්ශ පරීක්ෂණ වලට මුහුණ දිය හැකි අංශයක්ද ඇතුළත් වේ.

විදේශ අධ්‍යාපනයේදී IELTS පරීක්ෂණයේ වැදගත්කම අවධාරණය කරමින් ClarityEnglish හි කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ ස්ටෝක්ස් මහතා මෙසේ පැවසීය. “සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙකුට විදේශ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමේ අවස්ථාව ලැබුණු බව තහවුරු වන්නේ අදාළ අධ්‍යයන වර්ෂයට මාස 6 කට පමණ පෙරයි. එහෙත් බොහෝ දෙනෙකු IELTS පරීක්ෂණයට පෙනී සිටින්නේ එයින් මාස 3 ක් පමණ ගතවූවාට පසුව බව පෙනීගොස් තිබෙනවා. මෙහිදී සමහරුන් අදාළ ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට අසමත් වීම අනිවාර්යයෙන් සිදුවන දෙයක්. එය ඔවුන්ගේ අනාගතයට දැඩි බලපෑමක් ඇතිකරන බව අමුතුවෙන් කිවයුතු නැහැ.”

ClarityEnglish යනු ඉංග්‍රීසි භාෂා ඉගනුම සඳහා නවීන තාක්ෂණික විසඳුම් නිර්මාණය කරන සමාගමකි. ඔවුන් නිර්මාණය කළ ’Road to IELTS’ වැඩසටහනට English Speaking Union Innovation Award හා HKICT Award for Technical Excellence (Best Product යන සම්මාන හිමි විය. 1994 දී ආරම්භ වූ එම සමාගම දශක 2 කට අධික කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය කවුන්සිලය සමග සමීපව කටයුතු කරමින් සිටී. ’Road to IELTS’ වැඩසටහනට අමතරව මෙම ආයතන දෙක එක්වී ෂෑඛඔී පරීක්ෂණයට පෙනී සිටින පුද්ගලයන්ට අත්වැලක් වීම සඳහා වෙනත් ප්‍රකාශනයන්ද එළිදක්වා තිබේ.

’Road to IELTS’ යනු IELTS පරීක්ෂණය සඳහා සූදානම් වීමේ උත්සාහය පන්තිකාමරයේ සීමාවන්ගෙන් ඔබ්බට රැගෙන යන වැඩසටහනකි. සිසුන්ගේ ප්‍රගතිය පරීක්ෂා කරමින් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර ලබාදිය හැකි ආකාරයට මෙය නිර්මාණය කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ආචාර්ය වික්ටෝරියා ක්ලාක් මහත්මිය පැවසුවේ ‘මෙමගින් සිසුන්ගේ කැපවීම අනුව තම ඉංග්‍රීසි මට්ටම IELTS band score මට්ටමින් අඩක් හෝ සම්පූර්ණ මට්ටම දක්වා වැඩිදියුණු කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන’ බවයි.

ආරම්භයේ පටන් මේ දක්වා ’Road to IELTS’ වැඩසටහනේ සැසි මිලියන 4 කට වැඩි සංඛ්‍යාවක් පවත්වා ඇති අතර ලොව පුරා පාසල් 1,000 කට වැඩි සංඛ්‍යාවක් මෙම වැඩසටහන භාවිතා කරයි. මෙය භාවිතා කළ සිසුන් 130,000 ක් ඇසුරෙන් සිදුකරන ලද සමීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ එම සිසුන්ගේ දැනුම් මට්ටමේ 52% කට වැඩි ප‍්‍රගතියක් වාර්තා වී ඇති බව ය.

“බ්‍රිතාන්‍ය කවුසිලයේ IELTS ලියාපදිංචි මධ්‍යස්ථාන ජාලය දිවයින පුරා ව්‍යාප්ත වී තිබෙනවා. මෙම මධ්‍යස්ථාන වලදී සිසුන්ට IELTS පරීක්ෂණයට සූදානම් වීම සඳහා නොයෙක් ආකාරයේ උපකාර ලබාගැනීමට පුළුවන්. මෙම මධ්‍යස්ථාන වලට දිගින් දිගටම නවීන හා උසස් තත්ත්වයේ ක්‍රමවේද හඳුන්වා දීමට අප කටයුතු කරනවා. IELTS පරීක්ෂණයේදී ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට නම් මනා සූදානමක් තිබීම අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.” බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මෙරට විභාග කළමනාකරු සයිමන් ක්‍රීසි මහතා පැවසීය.

’Road to IELTS’ වැඩසටහනට අන්තර් ක්‍රියාකාරී අභ්‍යාස 300 කට වැඩි සංඛ්‍යාවක්, කේවල ආදර්ශ පරීක්ෂණ 36 ක් සහ උපදේශන වීඩියෝ 24 ක් ඇතුළත් වේ. එමෙන්ම ගතවන වෙලාව සටහන් කිරීමේ ක්‍රමයක්, ලකුණු ගණකයක්, විභාග පුහුණු කාලය සටහන් කිරීමේ ක්‍රමයක් සහ බාගත කළ හැකි අධ්‍යයන පත්‍රිකා වැනි අංග රාශියක්ද මීට ඇතුළත් වී ඇත. ඵහ My Progress විශේෂාංගය තුළදී සිසුන්ට තම ‍ප්‍රගතිය හා ගතවන කාලය නිරීක්ෂණය කිරීම, අන්තර්ජාලය ඔස්සේ අනෙකුත් සිසුන්ගේ ක්‍රියාකාරීත්වය සමග තම ක්‍රියාකාරීත්වය සංසන්දනය කිරීම මෙන්ම විශේෂ අන්තර්ක්‍රියාකාරී ක්‍රමයක් භාවිතයෙන් තමන්ට හිමිවන ලකුණු උපකල්පනය කිරීම වැනි බොහෝ දේ සිදුකළ හැකි වේ.

Road to IELTS හි ආයතනික වැඩසටහන භාවිතයෙන්, IELTS සඳහා සිසුන් වඩාත් හොඳින් සූදානම් කිරීමට ගුරුවරුන්ට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම මෙය අප සමග අත්වැල් බැඳගෙන සිටින මධ්‍යස්ථාන වල සේවය කරන ගුරුවරුන්ට, තම පන්තිකාමර වල සිදුකරන අධ්‍යාපන කටයුතු වලට අමතරව භාවිතා කළ හැකි වටිනා මෙවලමක් වේවි.” බ්‍රිතාන්‍ය කවුන්සිලයේ විභාග දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී දිලීපා මානවඩු මහත්මිය පැවසුවා ය.

‍බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධීක්ෂණය යටතේ කොළඹ, මහනුවර, යාපනය, ගාල්ල, මාතර, මීගමුව, කුරුණෑගල සහ මඩකලපුව යන ස්ථානවලදී IELTS පරීක්ෂණය පැවැත්වේ. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පරීක්ෂණ මධ්‍යස්ථානයකදී මේ සඳහා ලියාපදිංචි වන සිසුන්ට නොමිලේ පැය 30 ක පාඨමාලාවකට අමතරව  පුස්තකාල පහසුකම්, සම්මන්ත්‍රණ සහ අධ්‍යයන ග්‍රන්ථ ඇතුළු පහසුකම් රාශියක්ද හිමිවීම විශේෂත්වයකි.

IELTS පරීක්ෂණය සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා www.britishcouncil.lk වෙත පිවිසෙන්න.

BC 1

BC 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top