Oct 15, 2018

එලිෆන්ට් හවුස් ‘PlasticCycle’ ව්‍යාපෘතිය ඉදිරියටම

ශ්‍රී ලංකාවේ අද්විතීය නාමයක් දරන පාරිභෝගික ආහාර සන්නම වන එලිෆන්ට් හවුස් සමගින් එක් වූ වෝකර්ස් ටුවර්ස්, මාර්ග සංවර්ධන අධිකාරිය සහ බෙයිරා එන්වයිරෝ සොලූෂන්ස්, ජෝන් කීල්ස් සමූහය සමගින් අත්වැල් බැඳගනිමින් දැනටමත් සාර්ථකත්වය ළඟා කරගෙන ඇති ‘PlasticCycle’ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම හරහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කරන බව සහතික කිරීමෙහි ලා පෙරමුණ ගෙන තිබේ.

මේ යටතේ 2018 ජූලි මාසයේදී දකුණු අධිවේග මාර්ගයේ පිටවුම් ටර්මිනල් සියල්ලේම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා කසල බඳුන් තැන්පත් කිරීමට කටයුතු කරන ලද අතර වගකීමෙන් යුතුව ප්ලාස්ටික් බෝතල් (PET) බැහැර කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෑතකදී පවත්වන ලදී. මාර්ග සංවර්ධන අධිකාරියට අනුව දිනපතා අධිවේග මාර්ගයේ ගාස්තු අයකරන ස්ථානය පසුකර යන වාහන සංඛ්‍යාව 70,000ක් පමණ වන අතර සති අන්ත හා නිවාඩු දිනවලදී මෙම සංඛ්‍යාව තවත් ඉහළ යයි. එමනිසා මෙම ව්‍යාපෘතියෙන් සැලකියයුතු ඵලප්‍රයෝජන ලබාගත හැකි බව පැහැදිලි වේ.

ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීමක් වන මෙම ‘PlasticCycle’ ව්‍යාපෘතිය (www.plasticcylce.lk) ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් හේතුවෙන් ඇතිවන පරිසර දූෂණය සැලකියයුතු මට්ටමකින් අඩුකරගැනීමේ කාරකයක් බවට පත්වීමේ දැක්ම ඇතිව දියත් කරනු ලැබුවේ 2017 ජූලි මාසයේදී ය. එලිෆන්ට් හවුස් සත්කාරකත්වයෙන් ලැබුණු ප්ලාස්ටික් එකතුකිරීමේ බඳුන් සුපිරි වෙළඳසැල් ඇතුළුව කොළඹ හා අවට ප්‍රදේශවල ඇති විවිධ ප්‍රසිද්ධ ස්ථානවල සවිකිරීම මෙහි මූලිකතම ක්‍රමවේදය විය. මෑතකදී, ප්ලාසිටික් කිලෝග්‍රෑම් 10,000ක් ඉක්මවායන ප්‍රමාණයක් එකතු කරමින් රට තුළ ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අඩුකිරීමේ මහඟු කාර්යයේ සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට මෙම මුලපිරීමට හැකිව තිබේ.

ජෝන් කීල්ස් හෝල්ඩිංස් හි පාරිභෝගික ආහාර අංශ ප්‍රධානී සහ විධායක උප සභාපති දමින්ද ගම්ලත් මහතා මෙසේ පැවසීය: ‘ශ්‍රී ලංකාව තුළ PET අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැරකිරීමෙහි මූලිකයකු වීමට එලිෆන්ට් හවුස් කැපවී සිටිනවා. ‘PlasticCycle’ ව්‍යාපෘතියට අමතරව 2017 වර්ෂයේ සිට අපගේ නිෂ්පාදන කර්මාන්තශාලාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම්, 55,000ක් ප්‍රතිචක්‍රීකරණය කිරීමටත් එලිෆන්ට් හවුස් දායක වී තිබෙනවා. කීල්ස් සුපර් වෙළඳසැල් ඇතුළුව කොළඹ අවට ප්‍රධාන ස්ථාන බොහොමයක තැන්පත් කර ඇති එකතුකිරීමේ බඳුන් සම්බන්ධයෙන් මෙරට වගකිවයුතු පුරවැසියන් විසින් දක්වන සහයෝගය අපව තවදුරටත් දිරි ගන්වනවා. ඉදිරි පරම්පරාව ද තිරසර ප්‍රතිචක්‍රීකරණයට යොමු කරවමින් ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අඩු කිරීමටත් ප්ලාස්ටික් වගකීමෙන් යුතුව බැහැර කිරීම ප්‍රවර්ධනය කිරීමටත් එලිෆන්ට් හවුස් විසින් පොදුවේ දරන වෑයම අඛණ්ඩව ඉදිරියට ගෙනයනවා ඇති.’

ඔබ ආසන්නයේ ඇති PlasticCycle බඳුන් තිබෙන ස්ථාන සොයාගැනීම සඳහා www.plasticcylce.lk වෙබ් අඩවියට පිවිස එහි ඇති බඳුන් සොයනය යොදාගන්න.

PlasticCycle 2

EH PlasticCycle 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top