Jan 21, 2019

John Keells X තෙවැනි වරටත්

John Keells X Open Innovation Challenge වැඩසටහන 3 වන වරටත් පැවැත්වීම සඳහා මේ වනවිට සියලූ කටයුතු සැලසුම් කර ඇත.

එමගින් පෙර වසර දෙකෙහිදී මෙන්ම 2018/19 කාලසීමාව තුළදීද මෙරට නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන් රැසක් මෙම නව ව්‍යාපාර දිරිගැන්වීමේ වැඩසටහන සඳහා තරගවැදීමට නියමිත ය.

තරගයේ ජයග්‍රාහකයන්ට රු. මිලියන 2.5 ක මූලික ආයෝජනයක්, අදාළ ව්‍යාපාර වෙනුවෙන් විශේෂයෙන් සැකසූ වර්ධන සැලැස්මක්, ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ උපදෙස්, කොළඹ ප්‍රදේශයෙන් නොමිලේ කාර්යාල පරිශ්‍රයක්, ඉහළම තලයේ නීතිමය, මූල්‍ය හා සමාගම් ලේකම් සේවාවන්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මගපෙන්වීම්, ජෝන් කීල්ස් සමාගම් සමග සමීපව කටයුතු කිරීමේ අවස්ථාව මෙන්ම මූලික අදියරේ මාස 6 ක කාලයට පසුව තවදුරටත් ආයෝජන ලබාගැනීමේ අවස්ථාව යනාදී ප්‍රතිලාභ රාශියක් හිමි වේ.

මෙරට නිර්මාණශීලී හා බුද්ධිමය ව්‍යවසායක කුසලතා සපිරි පුද්ගලයන්ට අතදීමක් වශයෙන් 2016 වසරේදී ආරම්භ වූ John Keells X වැඩසටහන පසුගිය වසරේ සිට පරිපූර්ණ නවක ව්‍යාපාර දිරිගැන්වීමේ වැඩසටහනක් බවට විකාශනය වී තිබේ. දැනටමත් මෙම වැඩසටහනට රටේ තරුණ ව්‍යවසායක ප්‍රජාව වෙතින් විශාල උනන්දුවක් පළවී ඇති අතර, ඔවුන්ට අත්වැලක් වීමෙන් නොනැවතී, ව්‍යාපාරකරණයේදී අත්‍යවශ්‍ය වන මූලික දැනුම හා පුහුණුව ඔවුන්ට ලබාදෙමින් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පුළුල් ආයෝජනයක් සිදුකිරීම මෙම වැඩසටහනේ ඉලක්කය වී ඇත. ආරම්භක තලයේ ව්‍යාපාර වලට මගපෙන්වීම සමබන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් ලැබූ පුහුණුකරුවෝ පිරිසක්ද මෙම වැඩසටහනට සිය දායකත්වය ලබාදෙති. ඊට අමතරව රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පුද්ගලයන්ගේ මගපෙන්වීමද මෙහිදී තරගකරුවන් වෙත හිමි වේ.

පසුගිය වසරේදී මෙම වැඩසටහන යටතේ ජයග්‍රාහකයන් 6 දෙනෙකු තෝරාගැනුණු අතර ඔවුන්ට මාස 6 ක කාලයක් තුළ තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දායකත්වය සහිතව පුළුල් මට්ටමේ සහයක් ලබාදෙන ලදී.

නවෝත්පාදනය සඳහා වැදගත් වන මූලිකම ගුණාංගය වන්නේ කාලයේ තාලයට අනුගත වෙමින් අඛණ්ඩව විකාශනය වීමේ හැකියාවයි. John Keells X වැඩසටහනද, එහි පසුගිය අදියර වලදී හඳුනාගත් සාධක අනුව, මේ වනවිට තවදුරටත් දියුණු වූ වැඩසටහනක් බවට විකාශනය වී තිබේ. මෙහි 3 වන අදියර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව අයදුම්කරුවන්ට දැන් උදාවී ඇත.

2018 දෙසැම්බර් 03 දින සිට 2019 පෙබරවාරි 06 වන දින දක්වා අයදුම්පත් භාරගැනෙන අතර www.johnkeellsx.com වෙබ් අඩවිය හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැක. වැඩසටහන සම්බන්ධ වැඩිදුර තොරතුරු එම වෙබ් අඩවියේ දක්වා තිබේ. මීට අමතරව අයදුම්කරුවන්ට තවදුරටත් තොරතුරු ලබාදීම සඳහා මාර්ග ප්‍රචාරණ වැඩසටහන් සහ හමුවීම් මාලාවක් සංවිධානය කිරීමටද සමාගම කටයුතු යොදා ඇත.

මෙවර John Keells X Open Innovation Challenge වැඩසටහන තුළ තරග වදින කණ්ඩායම් වල සුවිශේෂී හා නිර්මාණශීලී හැකියාවන් සහ එම හැකියාවන් මගින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අදාළ ව්‍යාපාර ක්ෂේත‍්‍රයන් තවදුරටත් පුළුල් කිරීමට හෝ වෙනස් කිරීමට ඇති හැකියාව අනුව, ජයග්‍රාහකයන් කවුරුන්ද යන්න තීරණය කෙරේ. ඒ අනුව සංචාරක සේවා, ප්‍රවාහන සේවා, ආහාරපාන හා පාරිභෝගික වෙළඳාම්, දේපළ, මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණය සහ වැවිලි කර්මාන්ත යන ක්ෂේත්‍ර වලට අදාළව යෝජනා ඉදිරිපත් කරන තරගකරුවන්ට ජෝන් කීල්ස් සමාගමට අනුබද්ධ ව්‍යාපාරයක් සමග සම්බන්ධ වී හෝ ක්ෂේත්‍රයේ වෙනත් සමාගමක් සමග එක්වී ඉදිරියට කටයුතු කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

මූලික අදියරේ තෝරාගැනීම් වලින් අනතුරුව තරගකරුවන් 30 දෙනෙකු දක්වා පිරිසක් තෝරාගැනෙන අතර ඔවුන්ට විනිශ්චය මණ්ඩලය ඉදිරියේ තම සැලසුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ. ක්‍රිෂාන් බාලේන්ද්‍ර (සභාපති - ජෝන් කීල්ස් හෝල්ඩින්ස්), ගිහාන් කුරේ (නියෝජ්‍ය සභාපති සහ සමූහ මූල්‍යය අධ්‍යක්ෂ - ජෝන් කීල්ස් හෝල්ඩින්ස්), රමේෂ් ෂන්මුගනාදන් (ප්‍රධාන තොරතුරු නිලධාරී - ජෝන් කීල්ස් හෝල්ඩින්ස්, අජිත් ගුණවර්ධන (නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී - බ්ලූස්ටෝන් කැපිටල්) සහ දමිත් ප්‍රනාන්දු (විධායක සභාපති - ඒෂියා සිකියුරිටීස් හෝල්ඩින්ස්) යන මහත්වරු මෙවර විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කරති.

මෙම අදියරේදී කණ්ඩායම් 7 ක් දක්වා තෝරාගනු ලබන අතර ඔවුන්ට රු. මිලියන 2.5 බැගින් වන මූලික මුදල් සම්පාදනයක් සමගින් 2019 ජූනි මස සිට දෙසැම්බර් මස දක්වා ව්‍යාපාර වර්ධනය දිරිගැන්වීමේ වැඩසටහනකට සහභාගී වීමේ අවස්ථාව හිමි වේ. මෙහිදී එම ව්‍යවසායකයන්ට ජෝන් කීල්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නායකයන්, ව්‍යාපාර නාලිකා මෙන්ම පාරිභෝගිකයන් සමගද සම්බන්ධ වීමේ දුර්ලභ අවස්ථාව හිමිවන අතර අදාළ මාස 6 කාලසීමාවෙන් අනතුරුව පෙන්නුම් කරන සාර්ථකත්වය අනුව වැඩිදුර ආයෝජනයන් ලබාගැනීමේ අවස්ථාවද හිමිවනු ඇත. වැඩසටහනේ මූලිකම ඉලක්කය වන්නේ අවම කාලයක් තුළ අදාළ ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීම සඳහා අත්වැලක් වීම ය.

‘‘අපට අවශ්‍ය වන්නේ දීර්ඝකාලීන, සාර්ථක ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනංවා ගැනීමටයි. John Keells X වැඩසටහන සහ ඉන් පසුව ක්‍රියාත්මක වන දිරිගැන්වීමේ වැඩසටහින් පසුව පවා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය මෙම නවක ව්‍යාපාර වෙත ලබාදෙන දායකත්වය අවසන් වන්නේ නැහැ. මෙම වැඩසටහන ඔස්සේ ගොඩනැංවෙන සම්බන්ධතාවන්, මෙම පුද්ගලයන්ට සහ සමාගම් වලට ආත්ම විශ්වාසය සහ ජෝන් කීල්ස් සමාගමේ මගපෙන්වීම සමගින්, ආරම්භක අදියරේ දුෂ්කරතාවන් ජයගෙන, ව්‍යාපාරික ලෝකයේ ඉදිරියටම යාම සඳහා මනා අත්වැලක් වේවි.” ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසී ය.

JKX1 670px 19 01 21

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top