Feb 05, 2019

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට නව අධ්‍යක්ෂවරු පත්වෙයි

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව අධ්‍යක්ෂවරුන් ලෙස ෂෙරීන් කාදර්, චානක වික්‍රමසූරිය සහ අර්ජුන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු පත්වී සිටිති.

පිළිවෙළින් 2018 දෙසැම්බර් 16, 2018 දෙසැම්බර් 17 සහ 2019 ජනවාරි 18 යන දිනවල සිට මෙම පත්වීම් ක්‍රියාත්මක වේ. ෂෙරීන් කාදර් මහත්මිය සහ අර්ජුන් ප්‍රනාන්දු මහතා විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන අතර චානක වික්‍රමසූරිය මහතා ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. මෙම තිදෙනාම මූල්‍ය සහ ආයෝජන ක්ෂේත්‍රවල පුළුල් අත්දැකීම් සහිත වෘත්තිකයෝ වෙති.

ෂෙරීන් කාදර් මහත්මිය ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ මූල්‍ය සේවා අංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී ලෙස කටයුතු කරයි. 1998 වසරේ සිට එම සමාගමේ සේවය කරන එම මහත්මිය මූල්‍ය සේවා සහ තොරතුරු තාක්ෂණ යනාදී අංශවල විවිධ තනතුරු හොබවා ඇත. 2009 වසරේ සිට 2012 වසර දක්වා එම මහත්මිය ජෝන් කීල්ස් සමාගමේ මූල්‍ය පාලකවරිය ලෙස කටයුතු කළා ය. ඉන් පසුව ජෝන් කීල්ස් සමාගමේ මූල්‍ය අංශයෙහි ඇයගේ වත්මන් වගකීම භාරගන්නා තුරු, කාදර් මහත්මිය යුනියන් ඇෂුවරන්ස් සමාගමේ මුල්‍ය හා සැලසුම් සාමාන්‍යාධිකාරීවරිය ලෙස සිය සේවය ලබා දුන්නාය. කාදර් මහත්මිය එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ සාමාජිකත්වය සහිත වරලත් ගණකාධිකාරී වරියකි.

චානක වික්‍රමසූරිය මහතා දැනට Ironwood Capital Partners සමාගමේ කළමනාකරණ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරයි. ඊට පෙර ඒ මහතා 2012 වර්ෂයේදී LR Global Lanka පුද්ගලික කොටස් අරමුදලේ කළමනාකරණ හවුල්කරුවෙකු ලෙස සේවය කළේය. එමෙන්ම පිළිවෙලින් 2000 වසරේ සිට 2005 වසර දක්වාද 2009 වසරේ සිට 2011 වසර දක්වාද ඔහු Aureos Capital Limited හි හවුල්කරුවෙකු සහ ගෝලීය කාර්ය කළමනාකරු ලෙස සිය සේවය ලබා දෙන ලදී. 2006 වසරේ සිට 2009 වසර දක්වා වික්‍රමසූරිය මහතා Fitch Ratings Lanka සමාගමේ මෙරට ප්‍රධානී ලෙස කටයුතු කළ අතර, ඒ මහතා ඇමරිකාවේ චාලට්ස්විල් හි CFA Institute හි වරලත් මූල්‍ය විශ්ලේෂක සුදුසුකම් සපුරා ඇත.

අර්ජුන් ප්‍රනාන්දු මහතා බැංකු, මූල්‍ය හා ව්‍යාපාර පරිපාලන ක්ෂේත්‍ර වල වසර 30 කට අධික අත්දැකීම් හිමි වෘත්තීය බැංකුකරුවෙකි. 2013 වසරේ සිට 2017 වසර දක්වා ඒ මහතා DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ය. මේ කාලය තුළ ඒ මහතා DFCC බැංකුවට අනුබද්ධ සමාගම් රැසක සභාපති/අධ්‍යක්ෂ තනතුරු දැරූ අතර ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සහ ශ්‍රී ලංකා බැංකු සංගමය සඳහා DFCC බැංකුව මගින් යෝජනා කරන ලද අධ්‍යක්ෂවරයාද විය. ශ්‍රී ලංකා HSBC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ ඒ මහතා බංග්ලාදේශ HSBC බැංකුවේ ප්‍රධාන තාක්ෂණ හා සේවා නිලධාරී ලෙසද, හොංකොං හි HSBC බංකුවේ කලාපීය ප්‍රධානියෙකු ලෙසද කටයුතු කර ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලයිනා හි ක්ලෙම්සන් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ පශ්චාත් උපාධියක් ලබා ඇති ඒ මහතා එංගලන්තයේ වරලත් බැංකුකරුවන්ගේ සංගමයේ සහය සාමාජිකයෙකුද වේ.

'Business Today' සඟරාව විසින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 30 අතරට නම්කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික සේවාව සම්බන්ධයෙන්ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල් බැංකුව වන ත්‍රසඵස හඳුන්වා දෙන ලද්දේද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 94 ක් විවෘත කර ඇති අතර ATM යන්ත්‍ර 127 ක්ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත‍්‍ර 44 ක්ද ස්ථාපිත කර ඇති අතර Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,500 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top