Feb 24, 2019

වෙස්ටර්න් යුනියන් මුදල් හුවමාරු දැන් ලංකාවෙන් ලොව පුරාවට

ලොව ප්‍රමඛතම අන්තර් රාජ්‍ය, අන්තර් මුදල් හුවමාරු සමාගම වන වෙස්ටර්න් යුනියන් සමාගම ශ්‍රී ලංකාවේ පුරෝගාමී මුදල් හුවමාරු සේවාව සහ මෙරට වෙස්ටර්න් යුනියන් නියෝජිතයා වන MMBL Money Master සමග අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශිකයන් හට සිය මුදල් ලොව වෙනත් රටවලට හුවමාරු කර ගැනීමේ අවස්ථාව උදාකර ඇත.

මෙය ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශිකයන් සඳහා වෙස්ටර්න් යුනියන් සමාගම ජාත්‍යන්තර මුදල් හුවමාරු සේවාවක් හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව වේ. මේ අනුව අම්පාර, මඩකලපුව, කොළඹ, ගම්පහ, යාපනය, මහනුවර සහ කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක 17ක නගර 35ක් ආවරණය කෙරෙමින් ස්ථාපනය කර ඇති MMBL Money Master පරිශ්‍ර 61 හරහා මෙම සේවාව හිමිකර ගත හැකිය.

පාරිභෝගිකයන් හට ඇ.ඩො. 500ක් දක්වා බැංකු ගිණුමකට බැර කිරීමට හෝ ලොව රාජ්‍යයන් සහ ප්‍රදේශ 200ක පිහිටි නියෝජිත පරිශ්‍ර මිලියන භාගයකට අධික සංඛ්‍යාවකින් මුදල් ලබාගැනීමට හෝ හැකිවේ.

"ශ්‍රී ලංකාවේ සිට ලොව අනෙකුත් රාජ්‍යයන් වෙත ජාත්‍යන්තර මුදල් හුවමාරු සේවාව ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකයට පිවිසෙන මේ මොහොතේ, නියාමනය කෙරුණු, පහසු සහ කඩිනම් මුදල් හුවමාරු හා ගෙවීම් සේවාවක් මෙරට ආර්ථික වර්ධනයටත්, සමාජ සංවර්ධනයටත් අත්‍යවශ්‍ය සාධකයකි" යනුවෙන් වෙස්ටර්න් යුනියන් සමාගමේ දකුණු ආසියානු සහ ඉන්දු-චීන කලාපයේ උප සභාපතිනී සෝහිනී රජෝලා මහත්මිය සඳහන් කළාය.

විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකේය පුරවැසියන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශිකයන්ට ද ඔවුන්ගේ අවශ්‍යතා මැනවින් සපුරාලන අයුරින් මුදල් හුවමාරු සේවා ලබාදීම සඳහා වෙස්ටර්න් යුනියන් සමාගම කැපවන බව ද, ලොව සෑම රටකම පාහේ මෙහෙයුම් සිදු කරමින් පාරිභෝගිකයන්ගේ මුදල් සම්බන්ධ කිරීම සිය අරමුණ බව ද එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

දිවයින පුරා පිහිටි 2,000කට අධික MMBL Money Master පරිශ්‍ර හරහා දැන් මෙරට සේවය කරන හෝ මෙරට පදිංචි විදේශිකයන් හට සිය ආදරණීයයන්ගේ ජාත්‍යන්තර අධ්‍යාපන, වෛද්‍ය සේවා, ගමන්, භාණ්ඩ හා සේවා අවශ්‍යතා සඳහා කඩිනමින් මුදල් යොමු කිරීමේ පහසුව හිමිවේ.

"අපගේ ඉලක්ක වන්නේ වඩාත් ඉහළ පාරිභෝගික අත්දැකීමක් ලබාදීමත් මෙරට අනාගත වර්ධනය සහ නවෝත්පාදනයට දායකත්වය ලබාදීමටත්ය. වෙස්ටර්න් යුනියන් සමාගම සමග අත්වැල් බැඳගනිමින් අභ්‍යන්තර සහ බාහිර පාරිභෝගිකයන් හට උපරිම තෘප්තියක් ලබාදෙමින් මුදල් හුවමාරු සඳහා ඇති ප්‍රවේශය තවත් පුළුල් කිරීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා" යනුවෙන් Aitken Spence සමාගමේ උප සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ සහ MMBL Money Transfer සමාගමේ සභාපති ජේ.එම්.එස්. බ්‍රිටෝ මහතා ප්‍රකාශ කළේය.

වෙස්ටර්න් යුනියන් සමාගම 1995 වසරේ පටන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් හට මුදල් හුවමාරු ලබාගැනීම සඳහා පහසුකම් සම්පාදනය කරයි. පසුගිය වසරේ 170කට අධික රටවල් සංඛ්‍යාවකින් එම සමාගම මෙරටට මුදල් හුවමාරු කර ඇත. මෙම හඳුන්වාදීමේ කාලය තුළ බාහිර මුදල් හුවමාරු කිරීමේදී කිසිඳු හුවමාරු ගාස්තුවකින් තොරව එම සේවාව ලබාගැනීමට ද පාරිභෝගිකයන්ට හැකිවේ.

ගෝලීය නිෂ්පාදන ජාල තුළ දේශීය ව්‍යාපාර සඳහා අවස්ථා හිමිකර ගනිමින් ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ද ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස ඉදිරියට ගමන් කරමින් සිටී. එම ගමනේදී පුද්ගලික සහ රාජ්‍ය ආයතන ජාත්‍යන්තර සමාගම සමග ක්‍රියාකාරී ලෙස අත්වැල් බැඳගැනීම මෙරට ශීඝ්‍ර සමාජ-ආර්ථික වර්ධනය සඳහා බෙහෙවින් වැදගත් වේ. MMBL Money Master සමාගම විසින් පිරිනමනු ලබන වෙස්ටර්න් යුනියන් සේවාව මගින් විධිමත් අංශයේ සේවය කරන විදේශිකයන් හට සිය මුදල් පවුලේ සාමාජිකයන් හට විශ්වසනීය ලෙස යොමු කිරීමේ අවස්ථාව උදාකර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top