Mar 01, 2019

PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල 2019 ඇරඹේ

ආසියාවේ ප්‍රමුඛත ම දේපළ තාක්ෂණ සමාගමක් වන PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන ආසියානු කලාපයේ විශාලත ම සහ කීර්තිමත් ම දේපළ වෙළඳාම් සම්මාන උළෙලේ අයදුම්පත් බාර ගැනීම නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා එම සමාගම පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණ. එම සම්මාන උළෙල 2019 ජුලි මස 27 වනදා පැවැත්වීමට නියමිතය.

තුන්වන වාර්ෂික PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල (ශ්‍රී ලංකාව) වසරේ විශිෂ්ටත ම දේපළ සංවර්ධනකරුවන්, ව්‍යාපෘති සහ සැලසුම්කරුවන් ඇගයුමට ලක්කරයි. www.AsiaPropertyAwards.com වෙබ් අඩවිය හරහා මේ සඳහා අයදුම් කළ හැකි අතර මෙය කර්මාන්ත සහ මහජනතාව සඳහා ද විවෘතය.

කොළඹ, නැගෙනගිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විශිෂ්ටත ම මහල් නිවාස ව්‍යාපෘතිය, නිවාස ව්‍යාපෘතිය සහ නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා විවෘත කාණ්ඩය යටතේ සම්මාන පිරිනැමේ. ඊට අමතරව වාණිජ කාණ්ඩය යටතේ විශිෂ්ටත ම පාරිභෝගික, කාර්යාල, මිශ්‍ර භාවිතය, කාර්මික සහ හෝටල් සංවර්ධන යන කාණ්ඩ යටතේ ද සම්මාන පිරිනැමේ. විශිෂ්ටත ම නේවාසික සංවර්ධන (මාලදිවයින) ව්‍යාපෘතිය ලෙස නව සම්මානයක් ද එවර සම්මාන උළෙලට හඳුන්වා දී ඇත.

ආයතනික සමාජ සත්කාරක (CSR), තිරසර සංවර්ධන, සැලසුම් සහ ඉදිකිරීම්, පාරිභෝගික සේවා සහ ගොඩනැගිලි ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා ද මෙවර විශේෂ සම්මාන පිරිනැමීමට කටයුතු යොදා ඇත. තවද, වසරේ ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් පෞරුෂයට හිමි සම්මානය මෙවර ද පිරිනැමීමට නියමිතය. PropertyGuru දේපළ වාර්තා සඟරාවේ සංස්කාරක මණ්ඩලය විසින් පිරිනමනු ලබන මෙම සම්මානය පළමු වරට 2018 වසරේ පිරිනැමුණු අතර එය Indocean Developers සමාගමේ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් මොරායස් මහතා විසින් දිනාගන්නා ලදි.

විශිෂ්ටත ම සංවර්ධකයා සහ විශිෂ්ටත ම බොටික් සංවර්ධකයාට හිමි සම්මාන මෙහිදී පිරිනැමෙන ඉහළ ම සම්මාන වේ. මෙරට සම්මාන උළෙලේ ප්‍රධාන කාණ්ඩ යටතේ ජයග්‍රහණය කරන පිරිසට මේ වසරේ නොවැම්බර් මසදී තායිලන්තයේ බැංකොක් නගරයේ පැවැත්වෙන අවසාන මහා ආසියානු දේපළ සම්මාන උළෙල සඳහා අයදුම් කළ හැකිය. එහිදී ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාව දක්වා කලාපයේ 15කට අධික වෙළඳපල ප්‍රමාණයක් නියෝජනය කරමින් අවසන් මහා වටයේ සම්මාන සඳහා අයදුම්කරුවන් තරගවදිනු ඇත.

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් කර්මාන්තය තුළ විශාල පිබිදීමක් ඇතිවී තිබෙන අතර පසුගිය වසර දෙකෙහිදී මෙම සම්මාන උළෙල සඳහා හිමිවූ විශාල ප්‍රතිචාර මගින් ඒ බව තවදුරටත් පිළිබිඹු වෙයි. Altair ට්වින් ටවර්ස් සැලසුම් කළ මෙරට කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පී මොෂ් සෆ්දි මහතා පසුගිය වසරේ නොවැම්බර් මසදී මෙහි අවසාන මහා වටයේදී විශිෂ්ටත ම තට්ටු නිවාස ගෘහ නිර්මාණ සැලසුම (ආසියානු කලාපය) සඳහා වන සම්මානය මෙරටට හිමිකර දීමට සමත්විය.

විනිවිදභාවය සහ විශ්වසනීයත්වය සඳහා කීර්තිමත් නාමයකට හිමිකම් කියන PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල (ශ්‍රී ලංකාව) Paramount Realty අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිර්මාල් ද සිල්වා මහතා ප්‍රමුඛ ක්ෂේත්‍රයේ කීර්තිමත් විශේෂඥයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මඬුල්ලක් විසින් විනිශ්චය කෙරේ. අවසන් වටය සඳහා තෝරාගත් අයදුම්කරුවන්ගේ ගොඩනැගිලි පරිශ්‍ර නිරීක්ෂණය කිරීමට ද විනිශ්චය මණ්ඩලය කටයුතු කරති.

"ගොඩනැගිලි සැලසුම්, නිර්මාණශීලිත්වය සහ ප්‍රමිතිය මෙන්ම වෘත්තීය භාවය අතින් ද ශ්‍රී ලාංකේය දේපළ සංවර්ධනකරුවන් ආසියානු කලාපයේ ප්‍රමුඛයන් සමග තරග කළ මට්ටමක පවතිනවා. ගොඩනැගිලි සැලසුම්වල ආචාරධර්ම, අනුකුලතා, වෙළඳපල ස්ථානගතවීම සහ සමස්ත ප්‍රමිතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට විනිශ්චය මණ්ඩලය සිදු කරන පරිශ්‍ර චාරිකා ඉතා වැදගත් වනවා. මෙම ක්‍රියාවලිය මටත් විනිසුරු මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්ටත් අභියෝගයක් වුවත් එය අප සතුටින් බාර ගත්තා" යනුවෙන් 2018 වසරේ සම්මාන උළෙලේදී ද සිල්වා මහතා සඳහන් කළේය. මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළේය.

2019 සම්මාන උළෙලට සම්බන්ධ වැදගත් දින:

· 2018 දෙසැම්බර් 3 - අයදුම්පත් නිකුත් කිරීම සහ බාරගැනීම ආරම්භය
· 2019 මැයි 24 - අයදුම්පත් නිකුත් කිරීමේ අවසාන දිනය
· 2019 මැයි 31 - අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය
· 2019 ජුනි 17-28 - පරිශ්‍ර නිරීක්ෂණය
· 2019 ජුලි 1 - අවසාන විනිශ්චය
· 2019 ජුලි 26 - ශ්‍රී ලංකාවේ කොළඹ පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවය
· 2019 නොවැම්බර් 29 - තායිලන්තයේ බැංකොක්හි පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top