Apr 29, 2019

NSB බොදු බැති ගී අරමුදල බෝම්බ වලින් විපතට පත්වූවන්ට ප්‍රදානය කරයි

පාස්කු ඉරිදා දින දේවස්ථාන ඉලක්ක කර ගනිමින් සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකරදීම සදහා අත්වැලක් සැපයීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව පියවර ගෙන තිබේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධාන කර තිබූ වෙසක් බැති ගී සහ එයට අදාල වැඩසටහන් වෙනුවෙන් වෙන්කල ප්‍රතිපාදන සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සමස්ථ සේවක ප්‍රජාවම නියෝජනය කරමින් ලබාදුන් දායකත්වය, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කමි කාදිනල් රංජිත් හිමිපානන්වහන්සේ වෙත භාරදීම පසුගියදා සිදුවිය.

මෙම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගරු සභාපති ජයරාජ චන්ද්‍රසේකර, සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී ධම්මික නිහාල් පෙරේරා , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජගත් ගමනායක, බෞද්ධ සංගමයේ සභාපතිනිය වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී ජීවනී ගුණසේකර, ක්‍රිස්තියානි සංගමයේ සභාපතිනිය වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී ක්‍රිස්ටීන් ජේසුදියන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අළෙවි) ලාල් කරුණාතිලක, ප්‍රධාන සුබසාධන කළමණාකරු රංජිත් ගුණතිලක සහ සියළුම වෘත්තීය සමිති නියෝජනය කරමින් සාමාජිකන් පිරිසක් එක්විය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කමි කාදිනල් රංජිත් හිමිපානන්වහන්සේ මෙම සත්කාර්යය ඇගයුමට ලක් කල අතර, ආර්ථික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද විපතට පත් ජනතාව යලි ගොඩනැංවීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.

මෙම අවස්ථාවට එක්වූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගරු සභාපති ජයරාජ චන්ද්‍රසේකර මහතා සදහන් කලේ, අන්තර් සාමයික සහ අන්තර් පුද්ගල සහජීවනය පිළිබඳව ඉතිරිකිරීමේ බැංකුව අද යහපත් පූර්වාදර්ශයක් සැපයූ බවයි. ජාති, ආගම් හෝ පක්‍ෂ භේදයකින් තොරව නිවැරදි අරමුණක් වෙනුවෙන් මෙසේ එක්සත් වීම ඉතා වැදගත් බව ජයරාජ චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top