May 29, 2019

මරුටි, ඇල්ටෝ, ඩිමෝ බට්ටා හා බජාජ් කාර් ගන්න එපා ! Featured

එයාර් බෑග් නොමැති වාහන අලෙවි කරන්නන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කියා සිටියි.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසුවේ කුඩා වාහනයක් අනතුරකට ලක්වුවහොත් අනිවාර්යෙයෙන් වාහනයේ ගමන් කරන්නන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වන බැවින් මින් ඉදිරියට එයාර් බෑග් නොමැති වාහන අලෙවිය තහනම් කොට ඇති බවයි.

එසේම මෙරටදී සවි කරනු ලබන එයාර් බෑග් සඳහා වගකීමක් දෙන සමාගමක් නොවන බැවින් ඒ සම්බන්ධයෙන්ද මේ නීතිය එලෙසම ක්‍රියාත්මක බවද ඔහු කියා සිටියේය.

මේ අනුව ඉදිරියේදී එයාර් බෑග් නොමැති මරුටි, ඇල්ටෝ, ටාටා නැනෝ, බාජාජ් කොට් (Qute) හා ඩිමෝ බට්ටා යන වාහන අලෙවි කරන්නන්ට විරුද්ධව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

AMW

ශ්‍රී ලංකාව තුළ මරුටි හා ඇල්ටෝ මෝටර් රථ ගෙන්වා බෙදා හරින්නේ ඇසෝසියේට් මෝටර්වේස් (පුද්ගලික) සමාගම හෙවත් AMW සමාගම විසිනි.

පිළි ගැනීම අනුව ලංකාව තුළ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය සේ සැලැකෙන්නේ මරුටි හා ඇල්ටෝ මෝටර් රථය.

මේවන විට අදාළ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කර AMW වාහන අංගන වල ඇති බව පැවසේ.

මෙම මෝටර් රථ වසරකට 25,000කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වන බව මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානියකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේ.

ටාටා මෝටර්ස් සමාගම ටාටා නැනෝ ඇතුළු කුඩා ට්‍රක් රථ වන ඒස් සිප් (Ace Zip), ඒස් (Ace), සුපර් ඒස් (Super Ace) වැනි මෝටර් රථවල ද එයාර් බෑග් නොමැති අතර ඒවාද මෙරටට මේවන විට විශාල වශයෙන් ආනයනය කර ඇති බව පැවසේ.

ඩිමෝ බට්ට බ්‍ර්රෙක් ගැනත් බලන්න..

ඊට අමතරව මෙරට භාණ්ඩ ප්‍රවාහණය පෙරමුණේම සිටින ඩිමෝ බට්ටා කුඩා ලොරි රථය ගෙන්වන්නේ ඩිමෝ ලංකා සමාගම වන අතර එම කුඩා ලොරි රථ ද වසරකට 10,000 කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ ලියාපදිංචි කරන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා මීට අමතරව ඩීමෝ බට්ටා ලොරි වලට අනිවාර්යයෙන්ම ඒ.බී.එස් බ්‍රේක් තිබිය යුතු බවද කියා සිටියේය.

ඒ.බී.එස් බ්‍රේක් නොමැති බට්ටා වාහන මෙරටට ගෙන්වීම තහනම් කොට ඇති බවත්, ඒ සඳහා මාස හයක සහන කාලයක්ද ලබාදී තිබු බවත්, මින් ඉදිරියට ඒ .බී.එස් බ්‍රේක් නොමැති වාහන මෙරටට ගෙන්වා තිබුණහොත් අනිවාර්යයෙන්ම ආනයන පාලක වගකිවයුතු බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.

එයාර් බෑග් පරික්ෂාව

මේ අතර, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා එයාර් බෑග් පරික්ෂාව සම්බන්ධයෙන් ”පිටරටින් එන වාහන වලට එයාර් බෑග් සවිකර තිබෙන්නේ පූර්ණ පරික්ෂාවකින් පසුවයි. එසේ සවිකර තිබෙන එයාර් බෑග් එක වැඩ කරනවාද කියා තුන් පාරක් පරික්ෂා කරනවා. ඒ රටවලදී වාහනයක් පැයට කිලෝ මිටර් 80 වේගයෙන් ගොස් විශාල යකඩ කුළුණු දෙකක් මැද සවිකර තිබෙන විශාල රබර් කුට්ටියක වාහනය හැප්පා එයාර් බෑග් වැඩකරනවාද කියා පරික්ෂා කරනවා. එම පරීක්ෂණය හදුන්වන්නේ 'ක්‍රෑෂ් ටෙස්ට්' යනුවෙන්. එසේ හැප්පෙන විට එයාර් බෑග් එක වැඩකරනවා. මෙය වැඩ කරනවාද කියා තුන් පාරක් පරික්ෂා කිරීමෙන් පසුයි මෙරටට වාහන ආනයනය කරන්නේ. නමුත් අද බොහෝ දෙනෙක් පංචිකාවත්තෙන් ලබාගෙන වාහන වලට එයාර් බෑග් සවිකරනවා. එසේ ලබා ගන්නා එයාර් බෑග් වැඩ කරනවාද කියා පරික්ෂා කරන්න කෙනෙක් නැහැ. මෙහිදී සවිකරන එයාර් බෑග් වැඩ කරනකොට රියදුරා මියගොස් තිබේවි. මෙය ප්‍රැක්ටිකල් ප්‍රොඩක්ට් එකක් විදිහට තිබිය යුතුයි. නමුත් ලංකාවේ ක්‍රෑෂ් ටෙස්ට් කරන්න තැනක් නැහැ. එම නිසා ලංකාවේ සවිකරන එයාර් බෑග් වලට වගකීම සහතිකයක් දෙන්න කෙනෙක් නැහැ.” යනුවෙන් කියා සිටී.

එයා බෑග් නැත්නම් කියන්න - TEL : 0112687105

මොනයම් හෝ වාහන අලෙවි කරන ස්ථානයක එයාර් බෑග් නොමැති වාහන අලෙවි කරන්නේනම් වහාම 0112687105 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් අදාළ ස්ථානයට හෝ පුද්ගලයාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා තරයේ කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top