Jun 22, 2019

ශ්‍රී ලංකන් කොළඹත් අත්හරියි : නයිරාස් කුමන්ත්‍රණය සාර්ථකයි? Featured

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සියලුම කාර්යාල කටුනායකට රැගෙන යාමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ගනුදෙනුකරුවන්ගේ පහසුව හා එම සමාගමේ සේවාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකන් සමාගය සිය වෙළෙඳ ප්‍රවර්ධන, මහජන සම්බන්ධතා, හා මාධ්‍ය අංශය 2011 වසරේදී කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට රැගෙන විත් තිබිණි.

ගුවන් සමාගම ලබන මූල්‍යමය පාඩු අවම කර ගැනීමට බව කියමින් මේ වන විට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාල ඉවත් කිරීම ආරම්භ කර ඇති අතර ගුවන් ටිකට්පත් අලෙවි අංශයත් කුඩා කොටසකට ගෙනයාම හේතුවෙන් එහි සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් සේවයේ නියුතු සේවක සේවිකාවන්ට මැසිවිලි ඉදිරිපත්වීම වැඩිවී ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා සපයන ජාතික ගුවන් සේවයේ ප්‍රධාන කාර්යාලය කොළඹින් ඉවත් ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශ්‍රී ලන්කන් සේවකයන්ගෙන් ජනාදිපතිවරයාට ලිඛිත ඉල්ලිමක් ලැබී ඇති බවද පැවසේ.

නයිරාස් කුමන්ත්‍රණය

පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානය කිරීම හා ලාභ ඉපැයීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පැවරූ නෝර්වේ නයිරාස් උපදේශක ආයතනයට රුපියල් කෝටි 35ක මුදලක් ගෙවා වාර්තාවක් ලබාගෙන ඇති බවත්, ඉන් මෙතෙක් එම ආයතනය ප්‍රයෝජන ගෙන නැති බවද මේ අතර වාර්තා වේ.

අදාළ තත්ත්වය හේතුවෙන් නෝර්වේ නයිරාස් උපදේශක ආයතනයට ලංකාවේ රැඳී සිටීමට සිදුවූ බව පැවසේ.

එම කාලයට ද ඔවුන් අය කිරීමක් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවත්, අදාළ සමාගම මැදිහත්කරුවකු කරගෙන ශ්‍රී ලංකන් විකුණා දැමීට ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන්නකු කළක සිට සැලැසුම් සකස්කරමින් සිටින බවද ශ්‍රී ලංකන් හි හිටපු අධ්‍යක්ෂවරයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

ඒ නයිරාස් මැදිහත්කරුවකු වෙමින් ශ්‍රී ලංකන් විකුණා දැමුවහොත් විශාල කොමිස් මුදලක් නයිරාස්හට හිමිවන බැවින් බවද පැවසේ.

නයිරාස් ලංකාවට ගෙනඒමට ද අදාළ පුද්ගලයා මැදිහත්කරුවකු ලෙස කටයුතු කර ඇති බවද මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top