Jul 08, 2019

සැම්සුන් ඇඩ්වලට රැවටී ෆොන්ගත්තොත් සුං !

සිය සමාගමේ නිෂ්පාදිත ජංගම දුරකථනවල ජල ප්‍රතිරෝධී උපාංග ඇතුළත් බව සඳහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයට එරෙහිව සැම්සුන් සමාගමට එරෙහිව නඩු පැවරීමට ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම ක්‍රියා කර තිබේ.

පිහිනන විට සහ දිය මත ලිස්සා යන ක්‍රියාකාරකම්වල දී ජංගම දුරකථනය භාවිත කළ හැකි බව පෙන්වමින් සැම්සුන් සමාගම 'ව්‍යාජ' තොරතුරු ප්‍රචාරණය සිදු කර ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම චෝදනා එල්ල කරයි.

නඩු පැවරීමට පෙර සැම්සුන් සමාගම පළ කළ 300කට අධික වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් නැරඹූ බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පැවසීය.

කෙසේනමුත්, සිය සමාගමේ වෙළෙඳ දැන්වීම්වල නිරවද්‍යතාව වෙනුවෙන් පෙනී සිට පැමිණිල්ලට වගඋත්තර ලබා දෙන බව සැම්සුන් සමාගම රොයිටර් පුවත් සේවයට පවසා තිබුණි.

මුහුදු ජලයට නිරාවරණය වීමෙන් සහ නාන තටාකවල භාවිත කිරීමෙන් සැම්සුන් ජංගම දුරකථනවල කල් පැවැත්මට බාධාවක් නොවේ යැයි ඔවුන්ගේ වෙළෙඳ දැන්වීම්වල ප්‍රචාරණය කෙරෙන බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තාක්ෂණික උපාංගවල ජාත්‍යන්තර ආරක්ෂණ මිනුම්වලට අනුව සැම්සුන් දුරකථනවල ජලයෙන් සුරක්ෂිත IP68ක් (International Protection Marking) ලෙස සඳහන් කර ඇතත්, එම මිනුමට ලවණ මිශ්‍ර ජලය හෝ නාන තටාකවල ජලය අයත් නොවන බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසයි.

ගැලැක්සි S10 (Galaxy S10) යන ජංගම දුරකථනය මුහුදු වෙරළේ හෝ නාන තටාකවල භාවිත කළ නොහැකි බව සැම්සුන් සමාගමේ වෙබ් අඩවියේ ද දක්වා ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පැවසීය.

වෙළෙඳ දැන්වීමේ පෙන්වන මට්ටමට සැම්සුන් සමාගම සිය ජංගම දුරකථනවල කල් පැවැත්ම පරීක්ෂා කර නොමැති බව ද එම කොමිසම පවසයි.

"පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින්, ජංගම දුරකථන භාවිත නොකළ යුතු තැන් වල ගැලැක්සි ජංගම දුරකථන පාවිච්චි කෙරෙන අවස්ථා වෙළෙඳ දැන්වීම්වල පෙන්වනවා," ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පැවසීය.

කෙසේවෙතත්, සැම්සුන් සමාගම පාරිභෝගිකයන් නොමග යවා ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට විශාල වන්දියක් ගෙවීමට සිදු වෙනු ඇත.

බීබීසී සිංහල

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top