Jul 22, 2019

කුකුල් මස් නිෂ්පාදකයෝ 6ක් ලක්ෂ 10ක රැකියාවලට කොටන්න යයි  Featured

කුකුල් මස් හා බිත්තර මහා පරිමාණ ව්‍යාපාරිකයන් හයදෙනෙකු නිසා සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් හත් දහසක් පමණ දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ බ්‍රීඩ් බොයිලර් නිෂ්පාදකයින්ගේ සංගමය කියයි.

ඔවුන් මෙසේ චෝදනා එල්ලකරනු ලබන්නේ ප්‍රීමා, බයිරා, පුස්සැල්ල, සීඅයිසී, මිඩ්ලන්ඩ් හා නෙල්නා යන සමාගම්වලටය.
 
අදාළ සමාගම් මෙරට කුකුල්මස් නිෂ්පාදන අවශ්‍යතාව වන මසකට කුකුල්මස් කිලෝ ලක්ෂ 120 ද ඉක්මවා මසකට කුකුල්මස් කිලෝ ලක්ෂ 160ක් පමණ වන්නට නිෂ්පාදන කරමින් සිටින බව වාර්තා වේ.
 
මේ අතරින් අපනයන ආශ්‍රිත නිෂ්පාදන යටතේ ආයෝජන ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස වසර 50කට ආසන්න කාලයකට බදු සහන ලබාගෙන ඇති පුස්සැල්ල සමාගම ඔවුන් විසින් කුකුළු පැටවු නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කළ යුතුව තිබියදී, ආදාළ කොන්දේසි කඩකරමින් ඔවුන්ගේ නිෂ්පාදන දේශීය වෙළඳ පොළට යොමු කරමින් සිටින බවට ද චෝදනා එල්ලවේ.
 
මේ මහා පරිමාන ව්‍යාපාරිකයන් ආවෘත (close house) කුකුළු ගොවිපලවල් පවත්වාගෙන යමින් ඒවායේ තට්ටු කිහිපයක කුකුළු නිවාස තනමින් කුකුළු මස් නිෂ්පාදනය කිරීම කුඩා හා මධ්‍ය පරිමාන කුකුළු ගොවීන් අසරණ කිරීමට තවත් හේතුවක් වී තිබේ. 

පැටව් බිහි කිරීම සඳහා යුරෝපයෙන් ගෙන්වන ග්රෑන්ඩ් පේරන්ට්ස් සතුන් මෙරටට ගෙන එන්නේද මෙම මහා පරිමාණ ව්‍යාපාරිකයන් තිදෙනා වන අතර ඔවුන් විසින්ම පැටව් නිෂ්පාදනය කරනු ලබන මව් සතුන්ද නිෂ්පාදනය කරයි. 

ඔවුන්ට අමතරව තවත් මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 34 දෙනකු විසින්ද පැටව් නිෂ්පාදනය කරයි. 

එම සංගමයේ සභාපති ඒ.ඩී.ටී. හේමන්ත පැවසුවේ මෙම මහා පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් 34 දෙනා විසින් පැටව් නිෂ්පාදනය කිරීමට අමතරව මහා පරිමාණයෙන් කුකුල් මස් හා බිත්තර නිෂ්පාදනය කිරීම නිසා සුළු ගොවි ව්‍යාපාර කුකුල් නිෂ්පාදකයින්ගේ ව්‍යාපාර වැසී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති බවයි.

මෙරට වසරකට ඒකපුද්ගල කුකුල් මස් පරිභෝජනය කිලෝ ග්රෑම් 9ක් වන අතර වසරකට අවශ්‍ය පැටව් මිලියන 149ක් වුවත් අදාළ සමාගම් පැටව් මිලියන 155ක් නිෂ්පාදනය කරන බව වාර්තා වේ. 

කුකුල් මස් කිලෝග්රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 230ක් පමණ වැය වන බව එම සංගමය කියයි. 

එහෙත් තමන්ට කිලෝව රුපියල් 200 - 220 කටවත් අලෙවි කර ගැනීමට නොහැකි වුවද පාරිභෝගිකයාට මස් කිලෝවක් රුපියල් 400කට වැඩි මුදලකට මිලදී ගැනීමට සිදුව ඇති බව ඔහු කියා සිටියේය.

එබැවින් මේ ව්‍යාපාරය නියාමනය නොකළ හොත් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් විශාල අර්බුදයකට යන බවද ඒ මහතා කීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top