Aug 01, 2019

ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙල දෙවැනි වරටත්

තරුණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරික අවස්ථා ඇගයීමේ අරමුණින් ජපාන විදේශීය වෙළඳ සංවිධානය (JETRO) සමගින් ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය (COYLE) දෙවන වරටත් ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකාව පුරා සෞඛ්‍ය සහ කළමනාකරණ අංශය විධිමත් කිරීමත් ඵලදායිතාවය ඇති කිරීමත් අරමුණු කර ගනිමින් පසුගිය ජුලී 30 වන දින සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මන්ත්‍රණයක් ද පැවැත්වීය. මෙම සම්මන්ත්‍රණය මෙහෙයවනු ලැබුවේ ජපානයේ ටාමා විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය යෝෂියාවී ඉචිකාවා විසිනි. මෙම වැඩමුළුවට සහභාගී වූ පිරිසට සෞඛ්‍ය සහ ඵලදායිතා කේෂ්ත්‍රයට අදාළ කරුණු රැසක් ලබා ගැනීමේ අවස්ථාව එදින උදා විය.

පසුගිය වසරේ පැවති සම්මාන උළෙල වඩාත් වැඩි අවධානයක් දිනා ගත් අතර එය සෞඛ්‍ය සහ ඵලදායිතා ක්ෂේත්‍රය තුළ විශාල උද්දීපනයක් ඇති කිරීමට හේතු විය. මෙම ඇගයීම් උළෙල 2020 වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන සියලුම ව්‍යවසායකයන්ට මෙම සම්මාන උළෙල සදහා සහභාගී වීමට අවස්ථාව උදා වන අතර සහභාගී වන සියලුම ව්‍යාපාරික සමාගම්වලට අධි පරිමාණ, මහා පරිමාණ, මධ්‍යම සහ කුඩා පරිමාණ යන අංශ යටතේ ඇගයීමට ලක් වීමේ අවස්ථාව උදා වේ. මෙමගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායකයන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ව තවතවත් දිරිමත් කිරීමටත් ඔවුන්ගේ සේවාවන් සමාජය තුළ වඩාත් ප්‍රචලිත කිරීමටත් හැකි වේ.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ සභාපති අමින්ද රුද්‍රිගෝ මහතා සඳහන් කළේ “ප්‍රථම වරට පැවති සම්මාන උළෙලට වඩා වැඩි දේශීය සහ විදේශීය සමාගම් රැසක් සිය සේවා අත්දැකීම් සමගින්
මෙවර සම්මාන උළෙලට සහභාගී වන බව අප විශ්වාස කරනවා. එසේම මෙවැනි අවස්ථා ක්ෂේත්‍රයට අදාළ දැනුම සහ ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරීමටත් බෙදාහදා ගැනීමටත් උපකාරී වනවා. පසුගිය වැඩමුළුවට සහභාගී වූ පිරිස් සඳහන් කළේ සෞඛ්‍ය
ක්ෂේත්‍රයේ දියුණුව සහ පැවැත්ම උදෙසා අවශ්‍ය දැනුම සහ තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව උදා වූ බවයි.".

JETRO සංවිධානයේ නේවාසික නියෝජිත මසතොමෝ ඉතොනගා සඳහන් කළේ "පාලන අධිකාරීන් සිය සේවකයන්ගේ කාර්යසාධනය වඩාත් අපේක්ෂා කරන්නේ නම් ඔවුන් පිළිබඳව වඩාත් අවධානය කළ යුතුයි. වැඩ කටයුතු පහසු කර ගැනීමට නම් සේවක පිරිස් භෞතික සහ මානසික සෞඛ්‍ය යන දෙඅංශයෙන් වඩාත් ශක්තිමත් විය යුතුයි" යනුවෙනි.

ධනාත්මක ශ්‍රම බලකායක් ජනනය කිරීමටත් ඔවුන්ගේ කාර්‍යසාධනය වර්ධනය කිරීමටත් ක්ෂේත්‍රය තුළ ඔවුන්ව රඳවා තබා ගැනීමටත් සමකාලින ආර්ථික ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසාත් මෙවැනි වැඩසටහන් අවශ්‍ය වේ. එය ක්ෂේත්‍රය තුළ පවතින දුර්වලතා මගහරවා ගැනීමට ද උපකාරී වේ.

සියලුම අයදුම්කරුවන්ට 2019 අගෝස්තු පළමුවනදා සිට ඔක්‌තෝබර් මස 15 වනදා දක්වා සිය අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර එම අයදුම්පත් https://slchpa.com/home/ මගින් ඩවුන්ලෝඩ් කර ගත හැකිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top