Aug 20, 2019

සිංගර් වෙතින් මෙරටට John Deere 4WD ට්‍රැක්ටර්

මෙරට පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයේ කීර්තිමත් සන්නාමයක්වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, ඇමරිකා එක්සත් ජනපදයේ ලොව කීර්තිමත් සන්නාමයක් වන John Deere සන්නාමය යටතේ 4WD ට්‍රැක්ටර් මාදිලි තුනක් මෙරට වෙළඳපොළට හඳුන්වා දුන්නේය.

එම හඳුන්වා දීමේ අවස්ථාව ඊයේ (19) වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.

ලොව නවීනත ම තාක්ෂණය සමග බද්ධ වූ විශිෂ්ටත ම සන්නාමයක්වන John Deere, සිංගර් ශ්‍රී ලංකා සමාගමට ශ්‍රී ලංකාවේ කෘෂි මෙවලම් කර්මාන්තය සඳහා විශිෂ්ට මෙවලම් හඳුන්වා දීමේ ප්‍රමුඛ තේරීම් බවට පත් විය. සිංගර් ශ්‍රී ලංකා සමාගම මේවන විට රෝද දෙකේ අත් ට්‍රැක්ටර් අලෙවි කරන අතර සිවුවන වසරටත් එය වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත්ව සිටී. ශ්‍රී ලාංකේය වෙළඳපොළ තුළ සිංගර් සන්නාමය හිමිකර ගෙන සිටින හිමිකාරිත්වය සහ රෝද දෙකේ අත් ට්‍රැක්ටර් සඳහා හිමිකර ගෙන සිටින අංක 1 ස්ථානය නිසාම ලොව විශිෂ්ටත ම තාක්ෂණය මෙරටට හඳුන්වා දීම සඳහා එම සමාගම කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ මේවන විට කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා විශාල ඉල්ලුමක් පවතින බැවින් 4WD ට්‍රැක්ටර් හරහා භාවිතය පහසු, අඩු පිරිවැය සහ නව්‍ය තාක්ෂණය මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් හඳුන්වා දීමට මෙය කදිම අවස්ථාවකි. ට්‍රැක්ටර් අලෙවිය
සම්බන්ධව සිංගර් ශ්‍රී ලංකා සමාගම සතු අත්දැකීම් සම්භාරය සහ පුළුල් අලෙවි නියෝජිත ජාලය මෙම නවත ම ට්‍රැක්ටර් සන්නාමය මෙරට ජනතාව අතරට ගෙන යාමට මනා පිටිවහලක් වනු ඇත.

"සිංගර් ශ්‍රී ලංකා සමාගම මෙරට ජනතාව අතර හිමිකර ගෙන ඇති නොබිඳුණු විශ්වාසය සමගින් මෙරට කෘෂිකාර්මික අංශය සවිබල ගැන්වීමට අපට අවශ්‍ය වුණා. John Deere කෘෂි යන්ත්‍රෝපකරණ සහ අප සමාගම අතර ඇති කර ගත් මෙම හවුල්කාරිත්වය සමාගම් දෙකට ම ප්‍රතිලාභ ගෙන දෙනු ඇති බව අපගේ විශ්වාසයයි. මෙරට කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඉදිරියේදී මෙවැනි තවත් නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා" යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේය.

John Deere සන්නාමය යටතේ 3036E, 5045D සහ 5047D යන මාදිලි තුන මෙරටට හඳුන්වා දීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම කටයුතු කරයි. පිළිවෙලින් 36, 47 සහ 45 යන අශ්වබල ප්‍රමාණවලින් සමන්විත එම මාදිලි පවර් ස්ටියරින්, බලසම්පන්න හයිඩ්‍රෝලික් පද්ධතිය සහ ඉහල එසවුම් හැකියාව ඇතුළු සුවිශේෂී පහසුකම් රැසකින් සවිබල ගන්වා ඇත. 3036E සහ 5045D මාදිලි දෙකම 4 wheel ධාවන හැකියාවෙන් වෙළඳපොළට පිවිසෙන අතර 5047D මාදිලිය 2 wheel සහ 4WD පහසුකමින් යුතු වේ. මෙම ඕනෑම මාදිලියක් සමග තල 42 රොටවේටරයක් නොමිලේ හිමි වීම ද විශේෂත්වයකි. Disk ploughs, tine tillers සහ front loaders වැනි අනෙකුත් මෙවලම් වෙනම මිලදී ගෙන මෙම ට්‍රැක්ටර්වලට පහසුවෙන් සම්බන්ධ කළ හැකිය.

මෙම නවත ම හඳුන්වා දීම පිළිබඳ අදහස් පළ කරමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා සඳහන් කළේ, John Deere වැනි විශිෂ්ට ගෝලීය සන්නාමයක් සමග අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ තමන් බෙහෙවින් සතුටුවන බවත් උසස් ම තාක්ෂණයෙන් යුතුව උපරිම ඵල නෙළා ගැනීමට මෙමගින් පාරිභෝගිකයන්ට හැකිවන බවට සහතික විය හැකි බවත්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top