Sep 22, 2019

ආනයනික කිරිපිටිවල පාම් තෙල් ජර්මන් රසායනාගර වාර්තාවකින් ඔප්පුවෙයි Featured

ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳව ජර්මනියේ රසායනාගාරයක පරීක්ෂණයක් සිදුකර ඇතැම් කිරිපිටි වර්ග වල පාම් තෙල් සහ කිරිපිටිවල නොතිබිය යුතු ඇතැම් දේ ඇතැයි සඳහන් වාර්තාව ලැබී තෙමසකට වැඩි කාලයක් ගත වුවද ඒ සම්බන්ධයෙන් පැහැදිලි ලෙස පාරිභෝගිකයන් දැනුවත් කිරීමට අදාළ බලධාරීන් මෙතෙක් කටයුතු කර නැතැයි වාර්තා වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2019.03.06 දින එම පරීක්ෂාව සිදුකිරීමට ජර්මනියේ හැම්බර්ග් හි පිහිටි Eurofins Global Control - Hamburg රසායනාගාරයට කිරිටි සාම්පල යැවීමට කටයුතු යොදා තිබූ අතර ඊට වැය වූ මුදල රුපියල් 707,150.88ක් බව පැවසේ.

මෙම වාර්තාව පදනම් කරගෙන වෙනත් අතුරු වාර්තාවක් ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ලංකාවට ආනයනය කරන කිරිපිටි සම්බන්ධව වගකිව යුතු ආහාර උපදේශන කමිටුව නියෝජනය කරන්නේ ද ස්වාධීන පුද්ගලයන් නොවන බවත්, ඊට වඩා ස්වාධීන පුද්ගලයන් පත් කළ යුතු බවත්, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අවධාරණය කර සිටී.

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් සහ විශේෂඥයන් පිරිසක් විසින් සන්නාම 5කට අයත් කිරිපිටි සාම්පල විවෘත වෙළඳපොලෙන් තෝරාගත් බවත්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ අප කළ විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර තිබේ.

අදාල පරීක්ෂණයේ වාර්තාව 2019.06.06 දෙන මෙරටට ලැබී තිබේ.

ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2018.06.13 දින ද SGS Lanka Private Limited රසායනයනාගාරයට ලබාදී ඇති අතර අදාළ සාම්පල සඳහා සිදු කරනු ලබන රසායනික පරීක්ෂාවන් අතරතුර සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පරීක්ෂණ සම්පූර්ණ කරගත නොහැකි බැවින් තත්ත්ව වාර්තාවක් ලබාදීමට හැකියාව නැති බව අදාළ කිරිපිටි සාම්පල රසායනාගාරයට ලබා දී තෙමසකට පසු 2018.09.12 දිනැති ලිපිය රසායනාගාරය විසින් අධිකරණයට දන්වා තිබේ.

(රාවය)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top