Oct 09, 2019

IT තිස් වසරක විශිෂ්ටත්වය සමරයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය, වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන අතරතුර සිය තිස් වැනි සංවත්සරයද මෙම වසරේ සමරනු ලැබීය.එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ උපකුලපති හා සභාපති ආචාර්ය පීටර් බොන්ෆීල්ඩ් සහභාගි විය.

බ්‍රිතානයේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලය මගින් පිරිනමන තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොව පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි ලබා ගත් IIT සිසු සිසුවියන් 200 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් උපාධි ප්‍රධානෝත්සවය පැවැත්විණි. උසස් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන්  විද්‍යාපති උපාධිය, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ඉංජිනේරු විද්‍යාවේදී (ගෞරව) උපාධිය, පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාවේදී (ගෞරව) උපාධිය හා තොරතුරු තාක්ෂණවිද්‍යාවේදී (ගෞරව) උපාධි සේම, ව්‍යාපාර කළමණාකරණ උපාධි සම්පූර්ණ කළ සිසු සිසුවියන්ට එහිදී උපාධි සහතික පිරිනැමිණි. වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ (UOW) උපකුලපති හා සභාපති, ආචාර්ය පීටර් බොන්ෆීල්ඩ්,‍් නියෝජ්‍ය උපකුලපති (ජාත්‍යන්තර) මහාචාර්ය ඇලෙක්ස් හියුග්ස්, බාහිර කටයුතු පිළිබඳ සහකාර ප්‍රධානී මහාචාර්ය ස්ටීවන් බෘෘක්හවුස් ඇතුළුව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන ප්‍රධානීහු කිහිප දෙනෙක්ද IIT කාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන්ගේ දෙමව්පියෝද එම අවස්ථාවට සහභාගී වූහ.

“IIT ආයතනයේ ගෙවූ කාලය ඇතුළත ඉතාමත් හොඳින් අධ්‍යයන කටයුතු කරගෙන ගිය අපේ සිසු සිසුවියන් පිළිබඳ අපි ඉතාමත් ආඩම්බරයට පත් වෙනවා. සිසුන් වෘත්තීය මාර්ගවලට සූදානම් කරන ගමන් න්‍යායන් ඉක්මවා ගිය දැනුම ලබා දෙමින් අප විසින් ඔවුන් ප්‍රයෝගික ලෝකයට ඔවුන් විවර කරනවා. අපගේ සිසුන්ට, හොඳම ප්‍රායෝගික පුහුණුව හා ක්‍රියාකාරකම් මගින් උසස්ම අධ්‍යාපනයක් ලබා දෙමින් Informatics Institute of Technology මේ වසරේ තිස් වැනි සංවත්සරය සමරනවා. ආයතනයේ සෑම මට්ටමකම සියලුම දෙනාගේ  මහන්සිය හා කැපවීම හැම සාර්ථකත්වය දරා සිටින ශක්තිමත් කණු බවට පත්ව තිබෙනවා. අප විසින් සපයන සේවාවන්හි හා සිසුන්ට පිරිනමන පාඨමාලාවන් හි ගුණාත්මක තත්ත්වය වැඩි දියුණු කරමින්  පවත්වාගෙන යාමත් අපි දිගටම කරගෙන යනවා” Informatics Institute of Technology (IIT) හි නිර්මාතෘ, ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ සඳහන් කළේය.

සිය අධ්‍යාපනික කාල සීමාව ඇතුළත ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කළ සිසු සිසුවියන් සඳහා සම්මාන ගණනාවක්ද එහිදී  පිරිනැමිණි. උසස් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ඉංජිනේරු විද්‍යාපති සම්මාන දිනූ ඉෂංක ලක්ෂාන් වාසලගේ, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ඉංජිනේරු විද්‍යාවේදී (ගෞරව) උපාධිය දිනූ නාගරාජා තිලෝෂාන්, පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාවේදී (ගෞරව) උපාධිය හිමිකර ගත් ක්‍රිස්ටින් ලෝරී මෙලිස්සා ඩයස්, ව්‍යාපාර තොරතුරු ක්‍රමවේද අළලා විද්‍යාවේදී උපාධිය දිනූ සාමා විනෝදනී කරගම්පිටිය, ඒ අතර වෙති. මෙවර වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාල සම්මානය මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ඉංජිනේරු විද්‍යා (‍ගෞරව) සම්මානයක් හිමි කර ගත් මාරියෝ පියුමාල් සිල්වා හටද, පරිගණක විද්‍යාවේදී (ගෞරව) සම්මානයක් හිමි කර ගත් නෙත්මි වෙනූ ජයවර්ධන හටද, ව්‍යාපාර තොරතුරු ක්‍රමවේද අළලා ව්‍යාපාරවේදී (ගෞරව) උපාධිය දිනූ සුකිත් චතුර අලුත්ගම හටද හිමි විණි. ඊට අමතරව, අවසන් වසර හොඳම ව්‍යාපෘතියට හිමි සම්මාන මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය දිනූ නාගාරාජා තිලෝෂාන් හටද, ව්‍යාපාර තොරතුරු ක්‍රමවේද අළලා ව්‍යාපාරවේදී (ගෞරව) උපාධි හිමි කරගත් නුවන් ස්ටැන්ස්ලෝස් ගෝමිස් අභයසිංහ ජයවර්ධන හා සුධාරා විනෝදි කරගම්පිටිය  යන සිසු සිසුවියන්ට හිමි විණි.

ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ ශක්තිමත් බල කණුවක් වන ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT), උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් එහි තිස් වසරක විශිෂ්ටත්වය විදහා දක්වයි. ලොව පුරා 3000 කට අධික උපාධිධාරීහු ක්ෂේත්‍රයේ හා ඉන් පරිබාහිරව පැතිරී සිටිමින් එහි සාර්ථකත්වයට සාක්ෂි සපයති. IIT, අඛණ්ඩව දෙවසරක් තිස්සේ මහරැජිනගේ සම්මානයට පාත්‍ර වි සිටින බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ අනුබද්ධ ආයතනයකි. ඊට පෙරාතුව, ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) මගින් වෙස්ට්මින්ස්ටර් මෙට්‍රොපොලිටන් හා කීල් විශ්ව විද්‍යාලවල අභ්‍යන්තර උපාධි පාඨමාලා සිසුන්ට ප්‍රදානය කෙරිණි.

ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය උපාධි පිරිනැමෙන ශ්‍රී ලංකාවේ මුල්ම පුද්ගලික උසස් අධ්‍යාපන ලෙසින් 1990 පිහිටුවනු ලැබිණි. එය බ්‍රිතාන්‍ය වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ හා රොබට් ගෝර්ඩන් විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තරික උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පිරිනමන සම්මානිත අධ්‍යාපනික ආයතනයකි. ඉකුත් වසර ගණනාව තිස්සේම, ලොව පිළිගත් උපාධි පිරිනමමින් ශ්‍රී ලංකාවෙහි තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අංශයන් ශක්තිමත් කිරීම සඳහා ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT), සුවිශාල දායකත්වයක් දක්වා  තිබේ. මෙම උපාධිධාරීන් දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ස්වයං- ව්‍යාපාරිකයින් ලෙසින් මෙන්ම, තොරතුරු තාක්ෂණික හා ව්‍යාපාරික වෘත්තිකයින් ලෙසින් සාර්ථකව සිටිති. ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT)ආරම්භයේ පටන්, මේ දක්වා ලොව පුරා ආයතන සිය ගණනකට උපාධිධාරීන් දහස් ගණනක් සපයා තිබේ.

IIT1 670px 19 10 09

IIT2 670px 19 10 09

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top